ආරක්‍ෂක සේවා විද්‍යාල මහා ක්‍රිකට් තරගය යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

4th April 2018

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ එස්එස්සි ක්‍රීඩා පිටියේදී අද (4) උදෑසන ආරම්භ විය.

රට වෙනුවෙන් දිවිපිදු හා දැනට සේවයේ නියුතු රණවිරුවන්ගේ පවුල්වල දුවා දරුවන් හට අධ්‍යාපනය ලබාදිමේ අරමුණින් ආරම්භ කර ඇති ආරක්‍ෂක සේවා විද්‍යාලය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ජාතික පාසලක් වශයෙන් ද නම්කර ඇත. ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සංකල්පයක් මත මෙලෙස මෙම විද්‍යාල දෙක අතර සුහද එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලය සහ හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය යන විද්‍යාලයන්හි විදුහල්පතිවරුන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු විදුහල්පතිවරුන් ජාතික ධජය සහ විද්‍යාලයන් හි ධජයන් එසවීම සඳහා එක්වන ලදී. තරගයේ සමාරම්භය සනිටුහන් කරමින් කණ්ඩායම් දෙකෙහි නායකයින් විසින් තම කණ්ඩායම් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හදුන්වා දෙන ලදී. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කණ්ඩායම් දෙකෙහි නායකයින් හට සිය සුභ පැතුම් එක්කරමින් ක්‍රිකට් ක්‍රිඩා භාණ්ඩ පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.

මෙම සමාරම්භක උත්සවය සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම ස්ථානයෙන් පිටව යාමට ප්‍රථමයෙන් ක්‍රිකට් ක්‍රිඩා පුහුණුකරුවන්, ගුරුභවතුන් සහ තරග සංවිධායකයින් සමගින් සුහද පිලිසදරක යෙදිමට ද අමතක නොකලේය. ආරක්‍ෂක සේවා විද්‍යාලයේ අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුනිල් වන්නිආරච්චි සහ අනෙකුත් ආරාධිතයින් මෙන්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

|