දකුණේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවකට නව නිවසක් ඉදිකර දෙයි
21st October 2020
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිදුකරනු ලබන ප්‍රජා ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින්, බැංකුකරුවෙකු සහ ‘Master Card International South Asia’ ආයතනයෙහි හිටපු උපසභාපති හා ව්‍යාපාර කළමණාකරු කුමාර් වීරසූරිය මහතාගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව අලවායි ප්‍රදේශයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවකට සහ වල්ලිපුරම් ප්‍රදේශයේ තවත් කාන්තාවක් වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් ඉකුත් සඳුදා (19) දින පැවති උත්සවයකදී නිල වශයෙන් නිවාසලාභීන් වෙත පවරාදෙන ලදී.
ඒ අනුව, මෙම නිවාස දෙක 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ උපදෙස් මත 551 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හී ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් ඉදිකරනු ලැබීය. මෙලෙස අභිනවයෙන් ඉදිකල නිවාස පවරාදීමේ උත්සවය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ‘මාලති බළකායේ’ සාමාජිකාවක් වූ කේ. සුදාකර් මහත්මිය වර්ෂ 2002 සිට 2008 දක්වා කාලය තුල පැවති යුද්ධයෙන් තුවාල ලබා සිය දරුවන් දෙදෙනා සමඟ බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් ජීවත් වූ අතර නිසි වාසස්ථානයක් නොමැතිව පීඩාවට පත්ව සිටි එම පවුල පිළිබඳ 55 වන සේනාංකයේ සහ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අවධානයට යොමුවිය. එමෙන්ම, අනෙක් නිවාසලාභියා වූ යාපනය ප්‍රදේශයේ පදිංචි එස්. රන්ජන් නන්දනි මහත්මිය පිළිබඳ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි විසින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත දැනුම් දී ඇත.
නිවාස ඉදිකිරීමේ මානුෂීය ව්‍යාපෘතීන් වෙනුවෙන් යුද්ධ හමුදාව වෙත අඛණ්ඩ සහයෝගය ලබා දී ඇති කුමාර් වීරසූරිය මහතා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්‍ෂණික දැනුම පිළිබඳ දැඩි විශ්වාසයෙන් යුතුව මෙම නිවාස දෙකෙහි ඉදිකිරිම් කටයුතු වෙනුවෙන් මුල්‍යමය දායකත්වය ලබාදීමට ඉදිරිපත් විය. මෙලෙස අභිනවයෙන් ඉදිකරන ලද නිවෙස්හි යතුරු නිවාසලාභින් වෙත භාරදීමෙන් අනතුරුව අනුග්‍රාහකයින් සහ යුද්ධ හමුදා භටපිරිස් එක්ව ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ තොගයක් ද ඔවුන් වෙත පරිත්‍යාග කළහ.
මෙම උත්සව අවස්ථාවන් නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැවැත්වූ අතර ඊට මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකවරුන්, කරවෙඩ්ඩි අතිරේක ප්‍රාදේශීය ලේකම්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය, පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරික්‍ෂක, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ප්‍රසන්න රණවක, 55 වන සේනාංකය යටතේ ස්ථාපිත 551 වන බලසේනාවේ බලසේනාධිපති, අනෙකුත් බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, 55 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සංජීව දසනායක, 16 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් තීක්‍ෂණ රත්නායක, රාජ්‍ය නිලධාරින්, ප්‍රදේශවාසීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ. |