උපාධිධාරි පුහුණු පාඨමාලාවේ පළමු අදියර සාර්ථකව අවසන් වේ

4th October 2020

අතිගරු ජනාධිපති තුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනුව රාජ්‍ය සේවය සඳහා බඳවාගනු ලැබු උපාධිධාරීන් සදහා යුද්ධ හමුදාව විසින් සිදුකරන ලද නායකත්ව පුහුණු වැඩසටහන දිවයින පුරා ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ ඇති රෙජිමේන්තු මධ්‍යස්ථාන, පුහුණු පාසල් සහ බලඇණි තුළ ස්ථාපිත පුහුණු මධ්‍යස්ථාන 51 තුළ පළමු අදියරෙ යටතේ උපාධිධාරීන් 8554 දෙනෙකු සඳහා පසුගිය සැප්තැම්බර් මස 14 වන දින ආරම්භ කළ අතර, එහි සාමාප්තිය ඔක්තෝම්බර් මස 03 වෙනි දින සාර්ථකව සිදු කෙරිණි.

මෙම නායකත්ව සහ අභිප්‍රේරණ පාඨමාලාව දේශණ, සාකච්ඡා, එළිමහන් පුහුණු ක්‍රියාකාරකම්, කාණ්ඩායම් ක්‍රියාකාරකම්, අධ්‍යාපන චාරිකා සහ ක්ෂේත්‍ර අධ්‍යයන ඇතුළු ක්‍රමවේදයන් රාශියකින් යුක්ත වූ අතර, එහි අරමුණ වූයේ වඩාත් කාර්යක්‍ෂම හා ඵලදායි රාජ්‍ය සේවකයෙකු බිහි කිරිමය‍ි.

මෙම පුහුණු වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්‍ෂක අමාත්‍යාංශය, යුද්ධ හමුදා මූලස්ථානය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආදි ආයතන එක්ව උපායමාර්ගික ක්‍රමවේදයන් ඔස්සේ සැලසුම් සකසන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය උසස් මූලස්ථානයන් සමගින් සම්බන්ධීකරණයෙන් මෙම පළමු අදියර ඉතා සාර්ථකව අවසන් කරන ලදී.

පළමු අදියර යටතේ උපාධිධාරීන් 8554 දෙනෙකු පුහුණුව ලැබු අතර ඉන් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ දමිළ කාන්තා උපාධිධාරීන් 200 ක් ද, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ උපාධිධාරීන් 2550 දෙනෙකු පුහුණුව ලැබු අතර, ඉන් 250 ක් පිරිමි උපාධිධාරීන් වන අතර 2300 ක් කන්තා උපාධිධාරීනියන් වේ. ඒ අතර, සිංහල, දමිළ, මුස්ලිම් ජාතීන්ට අයත් වු අයවළුන් මෙන්ම පූජ්‍ය පක්‍ෂයේ උපාධිධාරීන් ද පුහුණුව ලැබුහ.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ උපාධිධාරීන් 2720 ක් පුහුණුව ලැබු අතර, ඉන් 1160 ක් පිරිමි උපාධිධාරීන් වන අතර 1560 ක් කාන්තා උපාධිධාරිනියන් වේ. කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ උපාධිධාරීන් 277 ක් පුහුණුව ලැබු අතර, ඉන් 131 ක් පිරිමි උපාධිධාරීන් වන අතර 146 ක් කාන්තා උපාධිධාරිනියන් වේ.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ උපාධිධාරීන් 131 ක් පුහුණුව ලැබු අතර, ඉන් 62 ක් පිරිමි උපාධිධාරීන් වන අතර 34 ක් කාන්තා උපාධිධාරින් වේ. බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ උපාධිධාරීන් 3226 ක් පුහුණුව ලැබු අතර, ඉන් 345 ක් පිරිමි උපාධිධාරීන් වන අතර 2891 ක් කාන්තා උපාධිධාරින් වේ. මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ උපාධිධාරීන් 943 ක් පුහුණුව ලැබු අතර, ඉන් 191 ක් පිරිමි උපාධිධාරීන් වන අතර සියළුම ජනවර්ග නියෝජනය කරමින් කාන්තා උපාධිධාරින් 752 ක් පුහුණුව ලැබු අතර, ඔවුන් අතර විවිධ ශාරීරික ආබාධ සහිත පුද්ගලයින් සහ ගැබිනි කාන්තාවන් ද වේ.

මෙම පුහුණුවේ පළමු අදියරේ සමාප්ති උත්සවයට ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, පුහුණු ආයතන භාර නිලධාරීන් සහභාගී වු අතර පාඨමාලාව අවසන් කළ අයවළුන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරිම සිදුවිය. සමාප්ති උත්සවය අලංකාරවත් කරමින් සංස්කෘතික හා විනෝදාත්මක අංගයන් උපාධිධාරින් විසින් ඉදිරිපත් කළහ. |