ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ජනාධිපති ආර්යාව ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයෙහි චාරිකාවක නිරතවෙයි

1st October 2020

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ළමුන්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් යුද්ධ හමුදාව වෙතින් කළමණාකරණය කරනු ලබන මැනිං ටවුන් හී පිහිටි ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ දී ලෝක ළමා දිනය සනිටුහන් කරමින් බ්‍රහස්පතින්දා (01) දින පැවති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය එම අවස්ථාවට සහභාගී වූ අතර, තවද, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ එතුමන්ගේ භාර්යාව වන සුජීවා නෙල්සන් මහත්මිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ එතුමන්ගේ භාර්යාව වන චන්දිමා උළුගේතැන්න මහත්මිය, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සහ එතුමන්ගේ භාර්යාව වන මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ද සහභාගී වූහ.

‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය ළමා දැනුම සංවර්ධනය කිරීම, පර්යේෂණ සිදුකිරීම මෙන්ම තොරතුරු ලබාගැනීමේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් කටයුතු කරමින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛස්ථානය ලබාදෙන එකම මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනු ලබන අතර එම මධ්‍යස්ථානයේ ප්‍රධාන අධීක්‍ෂණ නිලධාරිනිය ලෙස සෝනියා කෝට්ටේගොඩ මහත්මිය රාජකාරි ඉටුකරනු ලබයි.

මෙම අවස්ථාව වඩාත් වර්ණවත් වූයේ එහි සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ආරාධිත අමුත්තන් ත්‍රිවිධ හමුදා නිල ඇඳුමින් සැරසී සිටි කුඩා ළමුන් පිරිසක් විසින් මල් කළඹක් පිරිනමමින් ඔවුන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමත් සමඟිනි. ඉන් අනතුරුව, උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරමින් එම මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන කුඩා දරුවන් විසින් ආරාධිත අමුත්තන් අභිමුව දී සිය සෞන්දර්යාත්මක කුසලතා එළි දක්වනු ලැබූහ. කුඩා ළමුන් වෙනුවෙන් සිදුකරනු ලබන පුහුණු වැඩසටහන් ළමා සංවර්ධන විශේෂඥයින්ගේ සහයෝගය ඇතිව අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙස ද සේවය සපයනු ලබයි.

මෙම අවස්ථාවේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු පිරිස ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය පිළිබඳ නිර්මාණය කර ඇති විශේෂ වාර්තාමය චිත්‍රපටයක් නැරඹීමටද එක්වූහ. කුඩා ළමුන්ගේ සෞන්දර්යාත්මක කුසලතාවයන් එළිදැක්වීමට ප්‍රථමයෙන් එම මධ්‍යස්ථානයේ තරුෂි මෙනෙවිය විසින් පිළිගැනීමේ කථාව පවත්වන ලදී. ඉන් අනතුරුව, එම මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද ආරාධනාවකට අනුව මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ නිල වෙබ් අඩවිය ද ආරම්භ කරනු ලැබීය.

මෙදින වැඩසටහන අවසානයේ, අයෝමා රාජපක්‍ෂ මහත්මිය එම මධ්‍යස්ථානයේ වෙසෙන සියළුම කුඩා දරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ අතර ලෝක ළමා දිනය සනිටුහන් කරමින් එම ළමුන්ට ත්‍යාග පාර්සල් ද පිරිනැමුවාය. ඉන් අනතුරුව, ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ කුඩා ළමුන් ප්‍රවීණ ගායක ලහිරු පෙරේරා ගේ මියුරු ගීතයන් ශ්‍රවණය කිරිමෙන් මහත් අමන්දානන්දයට පත්වූහ. එම මධ්‍යස්ථානයේ කුඩා ළමුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයෝමා රාජපක්‍ෂ මහත්මිය එම අවස්ථාව සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ ‘අඹ’ පැලයක් ද රෝපණය කරනු ලැබුවාය.

මෙම උත්සව අවස්ථාව අවසන් කිරිමට මත්තෙන් එහි ස්තූතී කතාව එම මධ්‍යස්ථානයේ මන්මිත නමැති පුතු විසින් සහ ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රාජා ගුණසේකර විසින් සිදු කිරිමෙන් අනතුරුව එදිනට නියමිත දවසේ වැඩ කටයුතු නිමාවට පත් විය.

මෙම අවස්ථාව වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක), මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ අතිරේක ලේකම්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, ත්‍රිවිධ හමුදාවන්හී මාණ්ඩලික ප්‍රධානීන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් සහ එතුමන්ගේ භාර්යාව, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ එතුමන්ගේ භාර්යාව, විශේෂඥයන් සහ සම්පත්දායකයින් රැසක් ද සහභාගී වූහ. |