යුද්ධ හමුදාධිපතිතුමන් රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසයි
30th September 2020
71 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත්පතා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභිමුවදී පැවති ආගමික උත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැද යුදබිමේදී ඇස්, ඉස්, මස්, ලේ දන්දී රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන් 40 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අනුරාධපුර අභිමංසල - 1 සුවසහන මධ්‍යස්ථානයෙහි සංචාරයක නිරතවන ලදී.
සුවසහන මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටු හි සංචාරය කර ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයා බැලීය. පියෙකු මෙන් සුවසහන මධ්‍යස්ථානයේ සියලුම රණවිරුවන්ගේ සුවදුක් වෙන් වෙන්ව විමසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් ත්‍යාග පාර්සල් පිරිනැමිම ද සිදුකරන ලදී.
ඉන් අනතුරුව, මෙම අවස්ථාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත දක්වනු ලබන ලබැදියාව සංකේතවත් කරමින් ඔවුන් සමඟින් දිවා භෝජන සංග්‍රහයකට ද එක්වූහ.
මෙම සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් රුවන් වනිගසුරිය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර, අභිමන්සල - 1 හි සේනාවිධායක බ්‍රිගේඩියර් තුසිත හෙට්ටිආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.
මෙම සංචාරය අවසානයේ නික්මයාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීය. |