නාවික හා සමුද්‍ර සේවාවන්ට අදාළ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඇති හැකියාවන් පිළිබඳ සාකච්ඡා කෙරේ
18th August 2020
විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අයත් සමුද්‍ර යාත්‍රා පැවරුම් සහ නාවික හා සමුද්‍ර සේවාවන් සම්බන්ධ ප්‍රමුඛ පෙළේ සමාගම් හතරක් වන ‘සිලෝන් ඇසෝසියේෂන් ඔෆ් ෂිපිං ඒජන්ට්ස්’ (Ceylon Association of Shipping Agents), ‘කලම්බෝ ලොජිස්ටික්ස්’ (Colombo Logistics), ‘ඇවන්ට් ගාඩ්’ (Avant Garde) සහ ‘රක්නා ලංකා පුද්ගලික සමාගම’ (Rakna Lanka (Pvt) Ltd) යන සමාගම් වල නියෝජිතයින් සමගින් පැවති ඉහළ පෙළේ රැස්වීමකදී එම සමාගම් මගින් පවත්වාගෙන යනු ලබන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති ශක්‍යතාවයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැණිනි. එහිදී, නැව් කාර්ය්‍ය මණ්ඩලයන්ට අදාළව සිදුකරන වෙනස්වීම් මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වීමේ අවදානමක් ඇති නෞකාවන් සඳහා ආරක්‍ෂක විධි විධාන සැලසීම මෙන්ම මනා ප්‍රමිතියකින් යුත් සෞඛ්‍යාරක්‍ෂක පිළිවෙත් අනුගමනය කිරීම ආදී කරුණු සාකච්ඡා විය.
එමෙන්ම, එම සාකච්ඡාවේදී අදාළ නාවික හා සමුද්‍ර සේවාවන් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එකී සේවාවන් සපයන ප්‍රමුඛ පෙළේ සමාගම් සමගින් අත්වැල් බැඳගනිමින් මෙන්ම කොවිඩ් - 19 වෛරසය ආසාදනයට ලක්වූ අදාළ සමුද්‍ර සේවා සමාගම්වල කාර්ය මණ්ඩල සාමාජිකයින් සිය ගණනකට අධික පිරිසක්, එම නෞකා වලින් බැහැරකරවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් දැක්වූ සහයෝගය පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය. තවද, මෙවැනි අවස්ථාවල ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ලබාදුන් විශිෂ්ඨ සේවාව වෙළඳ නාවික ගණුදෙනු සම්බන්ධයෙන් ඉතා වැදගත් වන බවද මෙම සාකච්ඡා වටයන්හිදී විශේෂ අවධානයට ලක් වූ තවත් එක් කරුණක් විය.
කොවිඩ් - 19 වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ සමය තුළ නාවික හා සමුද්‍ර සේවාවන්ට අදාළ සියළුම කර්මාන්තයන්ට දැඩි බලපෑමකට ලක් වූ අතර, ඒ හේතුව නිසාවෙන්ම සැළකිය යුතු මට්ටමකින් අදාළ නාවික වෙළඳ සමාගම් වලට ලැබිය යුතු ලාභාංශයන් සීඝ්‍ර ලෙස පහත වැටී තිබිණි. එබැවින්, මෙම සාකච්ඡා වටයේදී අදාළ නාවික වෙළඳ සමාගම් වල නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද දුක් ගැනවිලි සහ දැවෙන ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් අදාළ කර්මාන්තයන් නොකඩවා ඉදිරියටත් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවටත්, ඒ සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කර මෙම කර්මාන්යන්ට අදාළ පොදු ගැටළු නිරාකරණය කර ඔවුන්ගේ රැකියා අවස්ථාවන් සුරක්‍ෂිත කරන බවට ද අවධාරණය විය.
වෙළඳ නෞකා වල සිටි කාර්ය්‍යමණ්ඩල සාමාජිකයන් අතර කොවිඩ් - 19 වසංගතය පැතිර යද්දී, ඔවුන් එම නෞකාවලින් මුදවාගැනීම වෙනුවෙන් කටයුතු කරමින් මුළු දකුණු ආසියානු කලාපයෙන්ම එවැනි සේවාවක් ප්‍රථම වරට ඉටුකරමින් වාර්තාවක්ද පිහිටුවමින් අනගි හා ආදර්ශමත් මෙහෙවරක් ඉටුකළ ශ්‍රී ලංකා නාවික හමුදාව, තමන් විසින් මුදවාගන්නා ලද නැව් කාර්ය්‍ය මණ්ඩල සාමාජිකයින්ට අවශ්‍ය සෑම පහසුකමක්ම නොමසුරුව සපයා තිබිණි.
මෙම විශේෂ සාකච්ඡා වාරයට සහභාගී වූ අදාළ වෙළඳ නෞකා සමාගම්වල නියෝජිතයන් මෙහිදී තම අදහස්ද දක්වමින් එකී නෞකා සමාගම්වලට අදාළ ව්‍යාපාරයන් ඉදිරියටත් කරගෙන යාම වෙනුවෙන් සිය යෝජනාවන්ද ඉදිරිපත් කළ අතර, මෙහිදී ඉදිරිපත් වූ කරුණු සමාලෝචනය කරමින් ඉදිරි කටයුතු වෙනුවෙන් තීරණ ගැනීමට අදාළ වැදගත් කරුණු ද සටහන් කරගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ, ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න, ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ප්‍රධාන කළමණාකරු එච්.එස්. හෙට්ටිආරච්චි මහතා, වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ, වෛද්‍ය රොෂාන් සම්පත් සහ අදාළ නාවික හා සමුද්‍ර සේවා වෙළඳ සමාගම්හි නියෝජිතයන් වන රැල්ෆ් ආනන්දප්පා, ශානෝ සබාර්, ඉක්‍රම් කුටිලියන්, ඇවන්ගාඩ් නාවික වෙළඳ සමාගමේ සභාපති මේජර් (විශ්‍රාමික) නිශ්ශංක සේනාධිපති සහ එම සමාගමේ කමාන්ඩර් (විශ්‍රාමික) නන්දන දියඹලානගේ, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) නිශාන්ත වඩුගොඩපිටිය, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රසික කරුණාතිලක, කළම්බෝ ලොජිස්ටික්ස් (Colombo Logistics) සමාගමේ එරික් අඹරන්ගොඩ මහතා, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) චාගි ගාල්ලගේ ද යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම විශේෂ සාකච්ඡා වටය වෙනුවෙන් සහභාගී වූහ.
එමෙන්ම, බ්‍රිගේඩියර් හරේන් පීරිස්, ගමන් හා පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් හිරෝෂ වනිගසූරිය, ඉඩම් දේපළ හා භටනිවාස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද, යුද්ධ හමුදා මූලස්ථානයේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් සවීන් සේමගේ, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරී ද එම සාකච්ඡා වටයන් වෙනුවෙන් සහභාගී වී තිබිණි. |