දිවංගත හමුදා සෙන්පති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු යුද්ධ විරුවන්ගේ 28 වන සංවත්සරය මහත් අභිමානවත් අයුරින් සමරයි

7th August 2020

යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රශංසනීය සහ විශිෂ්ඨ ගණයේ රණවිරුවෙකු මෙන්ම සෙන්පතියෙකු වූ දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 28 වන සංවත්සර දිනය අද (08) දිනට යෙදී ඇත. වර්ෂ 1992 අගෝස්තු මස 08 දින එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් යාපනය අර්ධද්වීපයේ අරාලි තුඩුවේ දී ගමන් ගත් ජීප් රථයට එල්ල කරනු ලැබූ ප්‍රහාරයක් හේතුවෙන් ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු තවත් යුද්ධ හමුදා නායකයින් කිහිපදෙනෙකු මවුබිම වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කරනු ලැබූහ.

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සිය නායකත්වය තුලින් ඊලාම් යුද්ධයේ මුල් අවධියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක් අත්කර දුන් විශිෂ්ඨ නිලධාරියෙකු වූ අතර එතුමන් සමඟ කීර්තිමත් ගජබා රෙජිමේන්තුව ඇරඹීමට පුරෝගාමී වූ මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහා, ලුතිනන් කර්නල් එච්.ආර්. ස්ටෙෆන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලීපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලින් ද අල්විස්, ලුතිනන් කමාන්ඩර් සී.බී. විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජී වික්‍රමසිංහ යාපනය කයිට්ස් හී පිහිටි ආරාලි තුඩුවේ ක්‍රියාන්විතයක නිරතව සිටිය දී වර්ෂ 1992 අගෝස්තු මස 08 දින මෙම ඛේදවාචකයට මුහුණ දී තිබිණි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව වර්ෂ 1960 මැයි මස 25 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මූලික හමුදා පුහුණුව හැදෑරූ එතුමන් වැඩිදුර පුහුණුව සඳහා එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට් හි රාජකීය හමුදා ඇකඩමියට පිටත්ව ගිය අතර වර්ෂ 1962 අගෝස්තු මස 03 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත් කරන ලදී. එතුමන් සැමරීම වෙනුවෙන් පැවති අනුස්මරණ උත්සවය අද (08) දින අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි එතුමන්ගේ පිළිරුව අභියස දී මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. |