කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී රට සාමාන්‍ය තත්ත්වයට පවත්වන පරිදි ඉදිරි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය ඇගයීමට ලක් කරයි

10th June 2020

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් රාජගිරියේ පිහිටි කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිස, COVID-19 සම්ප්‍රේෂණය සහ පාලනය, රට තුළ නැවත විවෘත කිරීම සහ සාමාන්‍ය කටයුතු සහ අදාළ සැපයුම් යන කරුණු පිළිබඳ විශේෂඥයින් සහ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

සාකච්ඡාවට සහභාගී වීමට පෙර ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අමුත්තන් පිළිගත් අතර, පවතින සමස්ත වසංගත තත්ත්වය හා නව තත්ත්වයන් පිළිබඳව සාකච්ඡාව ආරම්භයට පෙර ඇගයීමට ලක් කළහ.

නව සෞඛ්‍ය ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීම, ගුවන්තොටුපල පරිශ්‍රයේ සිදු කළ යුතු වැඩිදියුණු කිරීම්, මගීන් පැමිණීමෙන් පසු PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්ථානයක් ස්ථාපිත කිරීම සහ ගුවන් තොටුපල සේවකයින් අවම වශයෙන් විදේශීය සංචාරකයින්ට නිරාවරණය කිරීම පිළිබඳව සාකච්ඡාවේදී මූලික වශයෙන් අවධානය යොමු කරන ලදී. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව රාජ්‍ය ආයතන හා සේවාවන් විවෘත කිරීම හා නඩත්තු කිරීම මෙම හමුවේදී සමාලෝචනය හා ඇගයීමට ලක් කරන ලදී. සංචාරක අංශය විවෘත කිරීම සම්බන්ධව අදාළ අමාත්‍යාංශ, අදාළ ආයතන ප්‍රධානීන් සහ සෞඛ්‍ය බලධාරීන් සමඟ අදාළ උපදේශන පැවැත්විය යුතු බවට එකඟ විය.

තවද, ලෙබනන්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් එම ශ්‍රී ලාංකිකයන් සිය රට බලා යාමට පෙර PCR පරීක්ෂණ පැවැත්වීමට එකඟ වී ඇති හෙයින් ඉහළ අවදානම් සහිත මැද පෙරදිග අගනගරවල අතරමංව සිටින විදේශිකයන් ගෙන්වා ගැනීමේ හැකියාවන් පිළිබදව ද පුළුල් ලෙස ඇගයීමට ලක් කරන ලදී.

මේ වන විට වෛරසයේ පොකුරු සම්ප්‍රේෂණය සැලකිය යුතු ලෙස අඩුවී ඇති හෙයින් වීරෝදාර නැවියන් සම්බන්ධයෙන් සම්මත මෙහෙයුම් ක්‍රමවේදයන් සංශෝධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. සමාජීය වාතාවරණය ගුණාත්මක වන බැවින් සාමාන්‍ය හමුදා නිවාඩු සඳහා වන සීමාවන් ලිහිල් කිරීම ද තීරණය සඳහා ගනු ලැබීය. සීමිත සහභාගීත්වයකින් යුතුව ආගමික උත්සව හා උපකාරක පන්ති පැවැත්වීම සහ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම ද සාකච්ඡාවේදී සමාලෝචනය කරන ලදී.

උපායමාර්ගිකව අදාළ ප්‍රමුඛතා හදුනාගනිමින් හොඳින් සැලසුම් කරන ලද සැලැස්මක් යටතේ විදේශ සංචාර පිළිගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපති කාර්ය සාදක බලකායේ සාමාජිකයින් අවධාරණය කළහ. මහජන ජීවිතයට යථා තත්ත්වයට පත්වීම, ආර්ථික ක්ෂේත්‍ර යනාදිය සම්බන්ධයෙන් වෙනත් පොදු කරුණු කෙරෙහි ද සාකච්ඡාවේදී කේන්ද්‍රගත විය.

බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර ආචාර්ය සීතා අරඹෙපොල, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක, අධ්‍යක්ෂවරුන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ තවත් විශේෂඥයින් කිහිප දෙනෙකු සාකච්ඡාවට සහභාගි වන ලදී. |