නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ තවත් 286 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටත් වෙති

4th April 2020

සන්නද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන කටුකැලියාව සහ කණ්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයන් තුළින් සහ ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඉරණමඩු යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සති දෙකක නීරෝධායන ක්‍රියාවලියකට ලක් වූ පුද්ගලයින් 286 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (04) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

එමෙන්ම ගාල්ල, කොළඹ, මහනුවර සහ කුරුණෑගල වැනි ප්‍රධාන ගමනාන්තයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයින් එම පිරිස අතර සිටි කුඩා දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් එම පිරිස් වෙත එම ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි.

නිරෝධායන කාල සීමාව සාර්ථකව නිම කිරීමෙන් පසු පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හී අණදෙන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පැමිණ සිටියහ. |