දෙවන දිනටත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි මාසික විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සපයති

3rd April 2020

අඛණ්ඩව දෙවන දිනටත් දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අද (03) දින රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා යුද්ධ හමුදා බස් රථ මඟින් අදාළ බැංකුවලට යෑමට සහ ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන ලදී. දිවයින පුරා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් මාසික විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකිව සිටින රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට උපකාර කිරීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ අදහසකට අනුව මෙම ප්‍රජා සත්කාරය ක්‍රියාත්මක කරනු ලැබීය.

කෝවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම වැඩසටහන දියත්කළ අතර එමගින් දිවයින පුරා සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දහස් ගණනකට ප්‍රතිලාභ හිමිවිය.

යාපනය, වන්නි, නැගෙනහිර, කිළිනොච්චි, මුලතිව්, මධ්‍යම සහ බටහිර යන ආරක්‍ෂක සේනා මූලස්ථාන හත තුල සේවයේ නියුතු භටපිරිස් විසින් එම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සක්‍රීයව දියත් කරනු ලැබීය. |