මැනිං නගර නිවාස සංකීර්ණයට නව මහල් 6 කින් යුතු විවාහක නිලධාරී නිවාස සංකීර්ණයක්

9th May 2019

ඉඩම් දේපළ හා භටනිවාස අධ්‍යක්‍ෂ විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නවාතැන් පහසුකම් සැපයීමේ අවශ්‍යතාවය පුළුල් කිරිම උදෙසා බස්නාහිර පළාතේ සේවය කරන යුද්ධ හමුදා නිලධාරීන් මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානයේ විවිධ තනතුරු දරණ නිලධාරීන් වෙනුවෙන් මැනිං ටවුන්හිදී විවාහක නිලධරීන් සඳහා නිවාස 20 කින් සමන්විත වන මෙම ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මාර්ගෝපදේශණය මත ඉදිකිරිමට නියමිතව ඇත. ඒ අනුව මෙම ගොඩනැගිලි සංකීර්ණය සහ අවශ්‍ය ගෘහ භාණ්ඩ සඳහා රුපියල් මිලියන 357.19 ක වියදමකින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.

ඉඩම් දේපළ හා භටනිවාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර ගේ ආරාධනයකට අනුව සිකුරාදා (9) දින පැවති මුල් ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවිය. තවද එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, අධ්‍යක්‍ෂ ජෙනරාල් මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් නිශ්ෂංක රණවන සහ නිලධාරීන් කිහිපදෙනෙකු එම අවස්ථාවට එක්විය.

අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මහා සංඝරත්නය උදේසා දැහැත්වට්ටිය පිළිගන්වමින් ව්‍යාපෘතියට ආශිර්වාදය ලබාදෙන ලෙස ඇරයුම් කළහ. අනතුරුව පැවති පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා මුල්ගල තැබීය.

පසුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කොළඹ ප්‍රදේශයට රාජකාරී කටයුතු සඳහා පැමිණෙන සියලුම නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා එම පරිශ්‍රයේ ඉදි කර ඇති නිවාඩු නිකේතනයද එදිනම විවෘත කරනු ලැබිණි. එය සංක්‍රමණික බංගලාවක් ලෙස කොළඹ නගරයට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන නිලධාරීන්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති අතර, ඒ තුළින් පැමිණෙන නිලධාරීන්ගේ අවශ්‍යතාවයන් අවසන් වන තෙක් රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇත.

එහිදි මෙම නව බංගලාව විවෘත කිරිමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නිරීක්ෂණය කරනු ලැබීය. |