65 සහ 66 වන සේනාංකයන්හි භට පිරිස් භික්‍ෂුන් වහන්සේලා සමඟ එක්ව කිලිනොච්චි ප්‍රදේශයේ අඩුආදායම් ලාභි පවුල් දෙකක් සඳහා නව නිවෙස් ඉදිකරදෙයි

24th January 2019

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්හි තාක්‍ෂණික දායකත්වය සහ ශ්‍රමදායකත්වය යොදාගනීමින් ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ’ මූල්‍යමය අනුග්‍රහය ඇතිව කිලිනොච්චි, ඉරණමාතා නගර් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකරදෙන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නවතමයෙන් ඉදිකරනු ලැබු නව නිවස නිවාසලාභි කයගම් ජෙගදාස් මහතා ඇතුළු පවුලේ සාමාජිකන් වෙත අඟහරුවාදා (22) දින පැවැති උත්සවයකදී භාරදුන් අතර එම අවස්ථාව සඳහා පූනරීන් අතිරේක දිස්ත්‍රික් ලේකම් ආර්. කිරිජා මහත්මිය, 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම, 651 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමත් වරකාගොඩ, ග්‍රාම නිලධාරී සුන්දරබාලන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ යුද්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

මීට අමතරව, යුද්ධ හමුදා සාමාජිකයින් පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ සහයෝගය ඇතිව නව නිවසට රූපවාහිනි යන්ත්‍රයක්, ප්ලාස්ටික් පුටු, ගෘහ භාණ්ඩ ඇතුළු අත්‍යාවශය භාණ්ඩ රාශියක් ද ප්‍රදානය කරන ලදී. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකළහ.

මීට අමතරව, 66 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 වන බලසේනාවට අයත් 18 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 1 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්හි තාක්‍ෂණික සහය සහ ශ්‍රමදායකත්වය ඇතිව තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල ශ්‍රී සුමනරතන හිමියන්ගේ මූල්‍යමය අනුග්‍රහකත්වය ඇතිව පරන්තන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකර ඉරිදා (20) දින පැවැති උත්සවයකදී නිවාසලාභීයා වෙත සංකේතාත්මකව එම නිවස භාරදෙන ලදී.

පරන්තන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වන සුබ්රමනියම් රාජිනී මහත්මිය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය පිළිබඳ විශේෂ අවධායනක් යොමු කරමින් හිටපු කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මූලිකත්වයෙන් මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. අනතුරුව, වත්මන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී.

ඉරිදා (20) දින සන්ධ්‍යාවේ නවතමයෙන් ඉදිකරනු ලැබු නව නිවස නිවාසලාභීන් වෙත සංකේතාත්මකව භාරදීමේ උත්සවය හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර ඇතුළු අණදෙන නිලධාරීන් සහ ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් රැසක් එක්ව සිටියහ. |