‘රණවිරු ඇපරල්’ නව පිහිණුම් තටාකය රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට භාරදෙයි

18th October 2017

රණක්ෂිතයට පත්වූවත් වෘත්තීය සුදුසුකම් සහිතව යක්කල, ‘රණවිරු ඇපරල්’ හි සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ට ජල චිකිත්සක ප්‍රතිකාරයන් සඳහා අත්‍යාවශ්‍යව පැවති සියළු අංගෝපාංගයන්ගෙන් සමන්විත නව පිහිණුම් තටාකය අඟහරුවාදා (17) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සවයකදී විවෘත කරන ලදි.

එහි පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීම, යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සමඟින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිදු කෙරිනි. අනතුරුව හමුදා සම්ප්‍රදායානුකුලව ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සම්මාන මුරය පසුකරගෙන යාමක් (drive-past) ද පිරිනමන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමාගේ මෙම සංචාරය සිහිවනු වස් යක්කල රණවිරු ඇපරල් පරිශ්‍රයේ දී ‘සඳුන්’ පැළයක් ද රෝපණය කළහ.

රට වෙනුවෙන් සිදුකළ යුද මෙහෙවරේදී තුවාල ලබා තවදුරටත් ජාතික සේවයක් ඉටුකරමින් යක්කල යුද්ධ හමුදා කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු රණවිරුවන් වෙත මෙම පිහිණුම් තටාකය භාරදීමට ප්‍රථම, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඵලකය නිරාවරණය කර පොල්තෙල් පහන දැල්වූ අතර, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රණවිරු ඇපරල් අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක්ද ඒ සඳහා සහභාගී වූහ.

ඉන් අනතුරුව, පැපොලගස්දෙනිය විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්බලපිටියේ ධම්මික හිමි විසින් ආගමික වතාවත් සිදුකළ අතර, පිරිත් සජ්ජායනාවෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමා විසින් නව පිහිණුම් තටාකය වෙත පිරිත් පැන් ඉස ආශිර්වාද පතන ලදි.

තවද, එහිදී රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වූ අතර, අනතුරුව විවිධ පිහිණුම් තරඟ සහ රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් විශේෂ වූ ඩේවිඩ් මෙරික් අනුස්මරණ පිහිනුම් ශූරතා තරඟාවලිය උත්සවය වර්ණවත් කළේය.

එසේම, එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිරිපත් කරන ලද ජල මුද්‍රා නාට්‍ය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංස්කෘතික කණ්ඩායමේ සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශන අංගයන උත්සවයට අලංකාරයක් එක්කරනු ලැබීය.

අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි විසින් යුද්ධ හමුදා පැරා පිහිනුම් කණ්ඩායමේ හා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයින්ගේ දක්‍ෂතාවයන් අගයමින් තිලිණද ප්‍රදානය කරන ලදි.

එදින වැඩසටහනේ අවසන් අංගය ලෙස නිළ වෙබ් අඩවිය යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දියත්කිරීම ද සිදුකෙරිණි.

රණවිරු ඇපරල්හි සේනාවිධායක බ්‍රිගේඩියර් සේනක දසනායක විසින් කළ රණවිරු ඇපරල් ආයතනය පිළිබඳ ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වැඩසටහන නිමාවිය.

|