යුද්ධ හමුදා සාමාජිකයින් හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත් මූලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට සහන සලසයි

23rd December 2018

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 සහ 68 වන සේනාංක බලප්‍රදේශයේ ඕඩ්ඩුසුඩාන්, මන්නකන්දල්, කරුවලකන්ද, කොඩාඩි කල්ලු, කනගරත්නපුරම් සහ විද්‍යාපුරම් ප්‍රදේශයන්හි සිකුරාදා (21) දින සිට ඉරිදා (23) දින දක්වා පසුගිය පැය 48 ක කාලය තුල ඇඳහැළුණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පිඩාවටපත් සිවිල් වැසියන් 1000 කට අධික ප්‍රමාණයකට සහන සැලසීමට යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශයේ නිවාස ගණනාවක් ජලයෙන් යටවී ඇත. එම සිවිල් වැසියන්ට සහන සැලසිම සඳහා යුද්ධ හමුදා සහන සේවා කණ්ඩායම් ප්‍රදේශයට පැමිණෙන විටත් සිවිල් වැසියන් ගස් උඩට සහ උස් ස්ථාන වෙත නැග ඇත. ප්‍රදේශයේ සිවිල් වැසියන්ට අමතරව, සුනඛයන්, ගවයින්, ගොනුන් හා බළලුන් වැනි සතුන් ද ආරක්‍ෂිත ප්‍රදේශවලට යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යොමු කරන ලද අතර ඔවුන්ට අවශ්‍ය ආහාර ද ලබා දී ඇත.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විශේෂ බලකායේ සහ නයාරු පිහිටි නාවික හමුදා කඳවුරේ ජිවිත ආරක්‍ෂක කණ්ඩායමේ සහයෝගය ඇතිව සෙනසුරාදා (22) දින අලුයම 2.00 ට පමණ ගලවාගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.

ඒ අනුව, ක්‍රියාත්මක වූ භට පිරිස් බෝට්ටු යොදාගනිමින් ප්‍රදේශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල ගොස් යටවූ නිවාසවල සිරවී සිටි ළමුන් ඇතුළු සිවිල් වැසියන් 100 කට අධික පිරිසක් ගලවාගෙන ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සමත්විය.     

එමෙන්ම, විපතටපත් පවුල් 276 කට අයත් පුද්ගලයින් 682 ක් ආරක්‍ෂිත ස්ථානයහි පදිංචි කර ඇති අතර ඉරිදා (23) දින උදෑසන ඔවුන්ට අවශ්‍ය පිසු ආහාර සහ වෛද්‍ය ආධාර යුද්ධ හමුදාව විසින් සපයනු ලැබීය. තවද, අයහපත් කාලගුණයත් සමඟ නේඳුන්කනී - මුල්ලෙයාවේලි මාර්ගයට කඩා වැටුණු ගස් ඉවත් කරමින් මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත් කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් සමත්විය. එමෙන්ම, අවට ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් නිවාසවල අවතැන්වී සිටින සිවිල් වැසියන් සඳහා සෙනසුරාදා (22) දින උදෑසන ආහාර පාර්සල් 300 ක් බෙදාදීමට යුද්ධ හමුදාව කටයුතු කළහ.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 7 වන ගැමුණු හේවා බලඇණියේ සහ 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පසුගිය පැය 48 ක කාලය තුල හදිසි ආපදා තත්ත්වයන් ඇතිවූ ප්‍රදේශයන්හි සිවිල් වැසියන් 22 ක් බේරාගැනීමට සමත්විය. 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ උපදෙස් මත අදාළ බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ තවදුරටත් සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. |