ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු සැමරුම අභිමානවත් අයුරින්

28th October 2018

පනාගොඩ පිහිටි ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 'අභිමන් මුදුණත' රණවිරු ස්මාරකය අභියස දී සෙනසුරාදා (27) දින සන්ධ්‍යාවේ අති උත්කර්ශවත් අන්දමින් රණවිරු සැමරුම් උළෙලක් පැවැත් වූ අතර, ඒ සඳහා රට වෙනුවෙන් දිවිපිදු පාබල හමුදා විරුවන් දහස් ගණනකගේ බිරින්දෑවරුන්, දූ දරුවන් සහ ඥාතිහිතමිත්‍රාදීන් සහභාගි විය.

ශ්‍රි ලංකා පාබල හමුදා 29 වන සංවත්සර දිනයට සමගාමිව පවත්වන ලද මෙම රණවිරු සැමරුම් උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

එහිදි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මෙන්ම සපුගස්කන්ද පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග විසින් ප්‍රධාන ආරාධිත අමුත්තානන් පිළිගෙන රණ බෙර වාදන මධ්‍ය රණවිරු ස්මාරකය වෙත කැඳවාගෙන යන ලදි.

අනතුරුව, බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික වතාවත් සිදු කළ අතර, බෞද්ධ ආගමික වතාවත්වලට මුල්තැනක් ලබාදෙමින් 1900 වර්ෂයේ සිට මව්බිමේ භෞමික අඛණ්ඩතාවය සුරැකීම උදෙසා තම ජිවිත කැපකල ශ්‍රී ලංකා පාබල හමුදා වීරෝදාර නිලධාරින් 168 ක් හා යුද්ධ හමුදා සාමාජිකයින් 3700 ක් සිහිපත් කරමින් පැන් වඩා පිං පමුණවනු ලැබීය.

තවද, එහිදි ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන් සිහිකරමින් විනාඩි ‍දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත් වූ අතර, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම් කිත්සිරි විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදි.

එසේම, රණවිරු උපහාර විශේෂ පණිවිඩය ද මෙහිදි කිය වූ අතර, මෙදින රාත්‍රියේ සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා පසුදින සංඝයා වහන්සේලා 29 ක් විෂයෙහිලා දානමය පිංකමක් ද පැවැත්විය. මෙම රණවිරු සැමරුම් උළ‍ෙලේ යුද්ධ හමුදාධිපතිතුමා විසින් සිදු කළ කතාවේ දී අද්විතීය යුග මෙහෙවරක් ඉටුකර ශ්‍රේෂ්ඨත්වයට පත් ශ්‍රී ලංකා පාබල හමුදා විරෝධාර රණවිරුවන් ඇගයීමට ලක් කළහ.

අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පාබල හමුදා රෙජිමේන්තු අධිපති සමඟින් රණවිරු ස්මාරකය පාමුල පුෂ්පෝපාහාර දක්වන ලද අතර, මධ්‍යස්ථාන සේනාවිධායක, ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා පාබල හමුදා ඒකක අණදෙන නිලධාරීන්, රෙජිමේන්තු බලලත් නිලධාරීන්, සෙසු නිලයින්, රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන්ගේ බිරින්දෑවරුන්, දෙමාපියන්, දු දරුවන් සහ ළගම ඥාතීන් ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන හමුදා තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදයත් සමඟින් මෙම රණවිරු සැමරුම් උත්සවය නිමාවට පත්විය.

හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් වන ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ජෙනරාල් දයා රත්නායක, විශ්‍රාමික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. |