ලයා හෝටල් ජාලයේ දක්ෂයන් සෙවීමේ ප්‍රථම සම්මාන රාත්‍රිය ඉතා උත්කර්ෂවත් අයුරින්
29th December 2015
නවීන පහසුකම් සහිත යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ලයා හෝටල් ජාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ඇගයිම් ‘සම්මාන ප්‍රදාන රාත්‍රිය’ සඳුදා (28) දින පස්වරුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වාද්දුව ලයා බිච් හෝටලයේ දී ඉතා වර්ණවත් හා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. මෙම සම්මාන රාත්‍රියේ දී වාද්දුව ලයා බීච් හෝටලයෙහි ජෝෂප් බෙනඩික් මහතා, කුකුලේගඟ ලයා ලෙෂර් හි කසුන් සම්පත් මහතා, යාල ලයා සෆාරි හි සුසන්ත බමුණුසිංහ මහතා සහ කල්කුඩා ලයා වීව් හි කෝප්‍රල් ඩබ්ලිව්.කේ ශාන්ත හට ලයා හෝටල් ජාලයේ රාජකාරි කටයුතු සිදු කිරීමේ දී දැක් වූ විශිෂ්ට නිපුණත්වය වෙනුවෙන් සම්මාන ලැබීය. යාල ලයා සෆාරි හි සුසන්ත බමුණුසිංහ මහතා ලයා හෝටල් ජාලයේ වර්ග කිරීම් තුලින් දක්ෂයින් අතුරින් ද දක්ෂයා ලෙස හොඳම සේවක සම්මානය දිනා ගත් අතර, යුද හමුදාපතිතුමා එය ඔහු වෙත පිරිනැමීය. ‘ලයා ජයග්‍රාහි නව මාවතක’ යනුවෙන් මුළුදෙන මෙම සම්මාන රාත්‍රියේ දී ලයා හෝටල් ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ හිටපු සභාපති ශ්‍රීලාල් මිත්තපාල මහතා සම්භාවනීය අමුත්තා ලෙස සහභාගි වූ අතර, එහි දි ඔහු සම්මාන උළෙලේ මුඛ්‍ය දේශනය ද සිදු කළේය. වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම සම්මාන රාත්‍රියේ දී ලයා හෝටල් ජාලයට අයත් හෝටල් හතරෙහි සමස්ත කාර්ය මණ්ඩලය විසින් සිදු කළ විශිෂ්ට සේවය සහ එමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් කර්මාන්තයට ශ්‍රී ලංකා යුද හමුදාව ලබා දී ඇති සුවිශේෂි දායකත්වය ඇගයීම ද සිදු කෙරේ. රණවිරු සුබසාධනය උදෙසා 1991 අප්‍රේල් මස 5 වන දින ආරම්භ කළ වාද්දුව නිවාඩු නිකේතනය 2012 නොවැම්බර් 8 දින සිට ලයා බිච් යනුවෙන් සන්නාමගත කළ අතර, ඉන් අනතුරුව කුකුලේගඟ ලයා ලෙෂර්, යාල ලායා සෆාරි සහ කල්කුඩා ලයා වේව්ස් ද යනුවෙන් පරිසර හිතකාමි තවත් හෝටල් තුනක් ද ආරම්භ කෙරිනි. යුද හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ලබන මෙම ලයා හෝටල් ජාලය දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් ද විවෘතව පවති. වෙරළ ආසන්නයේ පිහිටා ඇති වාද්දුව ලයා බිච්, යාල ලයා සෆාරි සහ කල්කුඩා ලයා වේව්ස් යන හෝටල් ද පරිසර හිතකාමි ලෙස නිර්මාණය කර ඇති කුකුලේගඟ ලයා ලෙෂර් හෝටලය ද ඇතුලත් වන ලයා හෝටල් ජාලය මඟින් එහි අමුත්තන්ට මතකයේ රැඳෙන අත්දැකීමක් ලෙස විශිෂ්ට ආගන්තුක සත්කාරයන් සලසා ඇති අතර, එය පාරිභෝගිකයන්ගේ ප්‍රසාදයට ද ලක් වි ඇත. සංස්කෘත භාෂාවෙන් ‘තැන්පත් බව’ යන අරුත දෙන ලයා හෝටල් ජාලය, එහි පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. ‘ලයා ජයග්‍රාහි නව මාවතක’ යන උධෘතය පාදක කර ගනිමින් දියත් වන මෙම සම්මාන උළෙල මඟින් ශ්‍රී ලංකාවේ සංචාරක හෝටල් කර්මාන්තය ඉහළ නැංවිමට ලයා හෝටල් ජාලය සිදු කළ දායකත්වය මෙහි දී ඇගයීමට ලක් කරන ලදී.