‘රට රකින ජාතිය’ භට පිරිස්හි මූලිකත්වයෙන් පොළොන්නරුව ‘මීවතුපුර’ සහ ‘චිරන’ වැව් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අරඹයි

8th April 2018

පොළොන්නරුව දිස්ත්‍රික් වැසියන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස දිස්ත්‍රික්කයේ වාරිකර්මාන්තයට ඉවහල් වන ‘මීවතුපුර’ සහ ‘චිරන’ වැව් පිරිසිදු කිරීමේ හා අළුත්වැඩියා කිරීමේ කටයුතු ‘පිබීදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියට සමඟාමීව යුද්ධ හමුදා සමාජිකයන් විසින් බදාදා (04) දින ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයට අනුව යුද්ධ හමුදාවෙන් 1/3 ක භට පිරිසක් ජාතිය ගොඩනැඟිමේ මෙහෙවරෙහි නිරතව සිවිල් පරිපාලන කටයුතු ශක්තිමත් කිරීම සඳහා සහයෝගය ලබාදිමේ අධිටනින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) ගේ අධීක්ෂණය යටතේ මෙම වැව් පිරිසිදු කිරීමේ හා අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා යුද්ධ හමුදා භට පිරිස් යොමුකරවන ලදි.

මෙම ‘මීවතුපුර’ සහ ‘චිරන’ වැව් පුරාණ රජ දවසේ සිට වගා බිම් අක්කර දහස් ගණනකට ජලය සපයනු ලබන අතර ප්‍රදේශයේ පවුල් විශාල ප්‍රමානයක් තම ජල අවශ්‍යතාවයන් සහ සනිපාරක්ෂක කටයුතු මෙමගින් ඉටු කරගනු ලබයි.

මෑතකාලයේ දී මෙම වැව් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව, යුද්ධ හමුදාධිපති තුමන්ගේ පූර්ණ මඟපෙන්වීම මත ‘පිබීදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදා සමාජිකයින්ගේ ද සහයෝගය ඇතිව බදාදා (04) දින යුද්ධ හමුදා යන්ත්‍ර සූත්‍ර යොදාගනීමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදි.

මෙම වැව් අපේක්ෂිත පරිදි පිරිසිදු කිරීම හා අලුත්වැඩියා කිරීම මගින් නියඟ කාලවලදී වගා අක්කර 1000 කට වැඩි ප්‍රමාණයකට අවශ්‍ය ජලය ලබාදිය හැකි බව විශ්වාස කෙරේ.

රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථීක තත්ත්වය හා ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම මගින් ග්‍රාමීය අංශයේ සමෘද්ධිය හා සංවර්ධනය තුලින් සෞභාග්‍යමත් නව යුගයක ආරම්භය සඳහා ආරක්ෂක හමුදාවන්හි සහයෝගය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අපේක්ෂා කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පොළොන්නරුව ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, ග්‍රාමීය නායකයින් සහ ගම් මට්ටමේ අනෙකුත් පාර්ශවකරුවන් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරින්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ලදී.

‘රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ‘පිබීදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ යුද්ධ හමුදා ඉංජිනේරුවන්, ඉංජිනේරු සේවා බලකාය සහ ක්ෂේත්‍ර ඉංජිනේරුවන්, නාවික සහ ගුවන් හමුදා භට පිරිස් විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශ 07 ක පාසල්, ආගමික ස්ථාන, රජයේ වෛද්‍ය ආයතනයන්, ඓතිහාසික සිද්ධස්ථාන, ප්‍රජා ශාලා, ක්‍රීඩා සංකීර්ණ, වැව් ප්‍රත්සංස්කරණ වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සිදුකරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා ‘පිබීදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සහ ප්‍රදේශයේ සිවිල් සංවිධානවල නියෝජිත පිරිසක් ද සහභාගි විය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘රජරට නවෝදය’ ව්‍යාපෘතියට අනුව ක්‍රියාත්මක ‘පිබීදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මාර්තු මස 02 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරනු ලබන ‘චන්දන පොකුණ’ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් 75% ක් පමණ මේ වනවිට අවසන් කර ඇත.

|