නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන් අම්පාර ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වූ ප්‍රදේශයන්හි නිරීක්‍ෂණ සංචාරයක

29th November 2024

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 නොවැම්බර් මස 28 දින අම්පාර ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල සංචාරයක නිරතවූහ.

මෙම සංචාරය අතරතුරදී, ගංවතුර සහනාධාර ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සම්මන්ත්‍රණයක් පැවැත්විණි. එම අවස්ථාව සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය ගරු එච්. වසන්ත පියතිස්ස මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, යුද්ධ හමුදාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ අම්පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී, මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් යෙදවීම, අවතැන් වූ සිවිල් වැසියන්ගේ දේපළවල ආරක්‍ෂාව තහවුරු කිරීම සහ ගංවතුරින් අවතැන් වූ සියලුම සිවිල් වැසියන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වැනි තීරණාත්මක කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි. ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමේදී යුද්ධ හමුදා සාමාජිකයින් දක්වනු ලැබූ කැපවීම ද මෙම අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන්ගේ ඇගයීමට ලක්විය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් ගංවතුරින් අවතැන් වූවන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති රැඳවුම් මධ්‍යස්ථානයන්හි නිරීක්‍ෂණ සංචාරයක ද නිරත විය. එහිදී, අවතැන් වූ වැසියන් සිටින එම මධ්‍යස්ථානවල තත්ත්වයන් සොයාබලා එම වැසියන්ට අවශ්‍යතාවය පරිදි ප්‍රමාණවත් පහසුකම් ලබාදීම පිළිබඳව ද ප්‍රාදේශීය නිලධාරීන් සමඟින් සාකච්ඡා කරනු ලැබීය.

මෙම සංචාරය අතරතුරදී, 2024 නොවැම්බර් මස 26 දින කරෙයිතිව් ප්‍රදේශයේදී පාසල් සිසුන් රැගත් ට්‍රැක්ටරයක් ගංවතුරට හසු වී සිදුවූ අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වූ සිසුන්ගේ අවමංගල්‍ය උත්සවයට ද යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී විය.