‘විරුසවිය’ රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ ඉදිරි වර්ෂය සඳහා වන ගිවිසුමට අත්සන් තබයි

28th November 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සාමාජිකයින් වෙනුවෙන් රක්‍ෂණ ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව සමඟ පවතින සහයෝගීතාව යාවත්කාලීන කරමින් ‘විරුසවිය’ නමින් 2024 නොවැම්බර් මස 28 දින නව ගිවිසුමකට අත්සන් තැබිණි. මෙම ගිවිසුම 2024 දෙසැම්බර් මස මස 01 දින සිට 2025 නොවැම්බර් මස 30 දින දක්වා බලපැවැත්වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි සහ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා විසින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ප්‍රධාන කාර්යාලයේදී මෙම ගිවිසුම සඳහා අත්සන් කරනු ලැබිණි.

මෙම ගිවිසුම 2005 සිට ක්‍රියාත්මක වන අතර, ඒ තුළින් නේවාසික සහ බාහිර වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍යකර්ම, මරණ සහ දරු උපත් සඳහා සුබසාධන ප්‍රතිලාභ රැසක් ලබාදෙනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සාමාජිකයින්ගේ සුබසාධනය නඟාසිටුවීම සඳහා මෙම ගිවිසුම වාර්ෂිකව යාවත්කාලීන කරනු ලබයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.