විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

13th November 2024

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 නොවැම්බර් මස 12 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, මානුෂීය මෙහෙයුමේදී මෙන්ම වෘත්තීය දිවිය තුළදී එතුමන් දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව සිය කෘතඥතාවය පුදකළේය. සිය වෘත්තීය දිවිය තුළදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පවුලේ සාමාජිකයන් වෙත පුදකරනු ලැබීය. එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත තිළිණයන් ද ප්‍රදානය කරනු ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1988 පෙබරවාරි මස 22 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 29 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1989 දෙසැම්බර් මස 16 දින ගැමුණු හේවා බලකායට අනුයුක්ත කරනු ලැබීය. වෘත්තීය දිවිය තුළදී ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2022 අගෝස්තු මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 නොවැම්බර් මස 18 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 4 බලඇණිය ගැමුණු හේවා බලකායේ ඛණ්ඩභාර නිලධාරි සහ නිලධාරි අණදෙන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ බලඝණ අණදෙන නිලධාරී, 4 සහ 12 බලඇණිය ගැමුණු හේවා බලකායන්හි නිලධාරි අණදෙන, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරි අණදෙන, 23 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියා), 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියා), ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), 8 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සම්බන්ධීකරණ කාර්යාලය භාර නිලධාරී, ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (නිලධාරී වෘත්තීය සැලසුම් අංශය), 62 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිලධාරී අංශයේ කර්නල් (හමුදා ලේකම්), 64 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 612 පාබල බලසේනාවේ බලසේනාධිපති, සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ගැමුණු හේවා බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

මානුෂික මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණ සූර පදක්කමෙන් සහ විශිෂ්ඨ සේවා විභූෂනයෙන් ද පිදුම් ලබා ඇත. එතුමන් සිය හමුදා දිවිය තුළ විශේෂ ප්‍රහාරක කණ්ඩ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව, ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරී පාබල පාඨමාලාව - පකිස්ථානය, කනිෂ්ඨ විධාන පාඨමාලාව - ඉන්දියාව සහ ජ්‍යෙෂ්ඨ විධාන පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.