පොපි මල් දිනය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොපි මලක් පළඳවයි

8th November 2024

පොපි මල් දිනයට සමගාමීව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ සියලුම රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින් විසින් අද (07) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත පොපි මලක් පැළඳවීය.

සංවත්සර සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) ගේ සුරතින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොපි මළක් පැළඳවීය. ඉන් අනතුරුව, පොපි මල් අරමුදල වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් පරිත්‍යාගයක් ද සිදුරන ලදී. පසුව, ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත එම සංගමය විසින් නිර්මාණය කරන ලද මෙවර සේවාමුක්ත සඟරාවේ පිටපතක් ද පිරිනැමීම සිදුවිය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සියළුම විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මක වන සුභසාධන ව්‍යාපෘතීන් පිළිබඳව අවධානය යොමුකරමින් එම සංගමයේ නියෝජිතයින් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවිය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ ලේකම් කර්නල් සුජිත් ජයසේකර සහ පොපි කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.