ගජබා රෙජිමේන්තුවේ 14 වන නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

27th September 2024

යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් සංකේතාත්මකව එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය සංකේතවත් කරනු ලබන යශ්ඨිය නව රෙජිමේන්තු අධිපති වශයෙන් පත්කරනු ලැබූ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත පිරිනැමීය.

ගජබා රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 සැප්තැම්බර් මස 26 දින අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයේදී ධූරයේ රාජකාරි භාරගත්තේය.

රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. පසුව, එතුමන් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් ඩබ්ලිව්.අයි.වී.කේ.එම්. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සීගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුදකළේය. ඉන් අනතුරුව, ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එතුමන් මහා සංඝ රත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සියලුම නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.

එතුමන් අනතුරුව, නිලධාරීන් ආමන්ත්‍රණයෙන් පසුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම උත්සවය කීර්තිමත් ගජබා රෙජිමේන්තුවේ සම්ප්‍රදායන්ට අනුව ගෞරවාන්විතව සහ සරලව පවත්වනු ලැබීය.