යුද්ධ හමුදාධිපතිතුමන් අපවත්වීවදාල බෙල්ලන්විල විමලරතන මහනාහිමිගේ දේහයට අවසන් ගෞරව දක්වයි

5th February 2018

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (5) දින පස්වරුවේදි බෙල්ලන්විල රජ මහා විහාරයට පැමිණ අපවත්වීවදාල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමින්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වූහ.

මහා නාහිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පුජ්‍ය ධම්ම රතන නායක හිමියන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් සහ ශෝක ප්‍රකාශ සටහන් පොතෙහි සටහනක් ද තබමින් තම සාතිශය සංවේගය පුද කරන ලදි.

බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරවාසි පුජ්‍ය බොරළැස්ගමුවේ ප්‍රේමරත්න හිමි, පුජ්‍ය උෟරුපැලැව්වේ හේමාරාම හිමි, බෙල්ලන්විල රජ මහා විහාරයේ හිටපු බස්නායක නිලමේ සිසිර විජේසිංහ මහතා සහ විහාරස්ථ දායක සභාවේ සමාජිකයන් ද මේ සඳහා එක්විය.

|