විශ්‍රාම යන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන්ගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන් අගයයි

11th September 2024

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 11 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමය තුළදී තම වෘත්තීය ජීවිතය පුරාවට විවිධ අභියෝගාත්මක භූමිකාවන් හිදී නොසැලෙන කැපවීමෙන් සහ ආදර්ශමත් කාර්ය සාධනයෙන් යුතුව ක්‍රියා කිරීම පිළිබඳව ඇගයීමට ලක් කළේය. එසේම එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ යුද්ධ හමුදා වෘත්තීය දිවිය තුළ රාජකාරි කිරීමේදී එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙතද යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය. සුහඳ හමුවෙ සමාප්තියේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාවේදී තමා වෙත ලබාදුන් මඟපෙන්වීම් සහ සහයෝගයන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සිය ස්තූතිය පුදකළේය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයන් ප්‍රදානය කරනු ලැබීය.

විශ්‍රාම යන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන්ගේ කෙටි හැදින්වීමක් පහත දැක්වේ.

මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 1988 ජූලි 26 දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 31 යටතේ පුහුණුව ලබා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුලත් වෙන ලදී. ඉන්දියනු යුද්ධ හමුදා විද්‍යාපීටයන් මෙන්ම දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත් එතුමන් වර්ෂ 1990 ඔක්තෝබර් මස 5 දින විජයබාහු පාබල රෙජිමේන්තුවවෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2021 ඔක්තෝබර් 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුව එතුමන් 2024 සැප්තැම්බර් මස 16 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුල 5 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරි, බුද්ධි නිලධාරි සහ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ, කෙඩෙට් නිලධාරි අංශයේ උපදේශක නිලධාරි සහ ඛණ්ඩයම් නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ විද්‍යාපීඨ විධායක නිලධාරි, 222 පාබල බලසේනාවේ බලසේනා මේජර්, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු විධායක අධිකාරි, 7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන), පාබල පුහුණු මධ්‍යස්ථානයේ විශේෂ තරුණ නිලධාරී පාඨමාලා පුහුණු සම්බන්දීකරන නිලධාරි, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), හයිටි එක්සත් ජාතීන්ගේ ස්ථායීකරණ මෙහෙයුම් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි යුද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ ප්‍රධාන උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ‍ කෙඩෙට් නිලධාරි අංශයේ අණදෙන නිලධාරී, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික),571 පාබල බලසේනාවේ කාර්යනියුත්ත බලසේනාධිපති, 555 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක, 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂක ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා විධායක ජෙනරාල්, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති (මධ්‍යම) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වැනි ධූරයන් රැසක් හොබවා ඇත. තවද මානුෂික මෙහෙයුම් වලදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණ වික්‍රම පදක්කම (සිව් වතාවක්) සහ රණ සූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

එතුමන් සිය හමුදා දිවිය තුළ ඛණ්ඩභාර නිලධාරි යුද උපක්‍රම පාඨමාලාව, බළඇණි ආධාරක අවි පාඨමාලාව - නිලධාරී, මූලික ප්‍රගුණ වෙඩ්කරු පාඨමාලා, කාලතුවක්කු ඉදිරි නිරීක්‍ෂණ පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව,තරුණ නිලධාරි පාඨමාලාව (පකිස්ථානය), ඛණිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව ඉන්දියාව, නිලධාරීන්ගේ ප්‍රවාහන කළමනාකරණ පාඨමාලාව (ඉන්දියාව), බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව (චීනය) සහ ආරක්ෂක සහ උපාය මාර්ගික අධ්‍යයන පිළිබඳ උසස් ඩිප්ලෝමාව පාඨමාලාව (චීනය) ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රැසැක් හදාරා ඇත.