විශ්‍රාම යන මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපති අගයයි

10th September 2024

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 09 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කැපවූ සේවය ඇගයීමට ලක්කළ අතර, ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් වෙනුවෙන් දැක්වූ දායකත්වය පිළිබඳවද සිය කෘතඥතාවය පුදකිරීමෙන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ යුද්ධ හමුදා වෘත්තීය දිවිය තුළ රාජකාරි කිරීමේදී එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙතද යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාවේදී තමා වෙත ලබාදුන් මඟපෙන්වීම් සහ සහයෝගයන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සිය ස්තූතිය පුදකළේය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයන් ප්‍රදානය කරනු ලැබීය.

මේජර් ජෙනරාල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී වර්ෂ 1990 සැප්තැම්බර් මස 07 වැනි කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් පකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 01 යටතේ පුහුණුව ලබා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුලත් වෙන ලදී. පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීටයන් මෙන්ම දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත් එතුමන් වර්ෂ 1991 නොවැම්බර් මස 13 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2023 අගෝස්තු මස 19 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසුව එතුමන් 2024 සැප්තැම්බර් මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයතුල 5 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඛණ්ඩ භාර නිලධාරි සහ බුද්ධි නිලධාරි, 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ විධායක නිලධාරි, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ නිලධාරි උපදේශක, 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 91 බලඝණයේ නිලධාරී අණදෙන , ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සහ යුද්ධ හමුදා පුහුණු පාසලේ උපදේශක නිලධාරි, ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ උපදේශක නිලධාරි, 4 (ස්වේච්ඡා) ඉංජිනේරු රෙජිමේන්තුවේ මාණ්ඩලික නිලධාරි II, 74 වන යාන්ත්‍රික බලඝණයේ නිලධාරි අණදෙන, 7 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරි, ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I,මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සහ චැඩ් හි එක්සත් ජාතීන්ගේ දූත මණ්ලයේ ශ්‍රී ලංකා ගුවන් ක්‍ෂේත්‍ර නඩත්තු ඒකකයේ අණදෙන නිලධාරී, ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සැලසුම් සහ ප්‍රසම්පාදන), 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරුබලකායේ අණදෙන නිලධාරී,යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I, ස්වාධීන වැඩපල අණදෙන නිලධාරී, දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයයේ හමුදා සම්බන්ධතා නිලධාරි,ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලයේ කර්නල් (සම්බන්ධීකරණ), ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පාසලේ සේනාවිධායක, 573 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක,ඉඩම් දේපල හා භඨ නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

තවද මානුෂික මෙහෙයුම් වලදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

එතුමන් සිය හමුදා දිවිය තුළ ඛණ්ඩභාර නිලධාරි යුද උපක්‍රම පාඨමාලාව, නිලධාරී ක්‍රියාන්විත මාණ්ඩලික රාජකාරී පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කළමනාකරණ පාඨමාලාව, කැඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව - පකිස්ථානය, තරුණ නිලධාරීන්ගේ ඉංජිනේරු පාඨමාලාව - පකිස්ථානය, ඒකාබද්ධ නිලධාරීන් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සිවිල්-යුද සම්බන්ධීකරණ පාඨමාලාව - ඉන්දුනීසියාව ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රැසැක් හදාරා ඇත.

එතුමන් යුද්ධ හමුදා සේවා කාලය තුළ පකිස්ථාන යුද හමුදා ඇකඩමියේ ශාස්ත්‍රවේදී උපාධිය, කැලණිය විශ්ව විද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයන උසස් පාඨමාලාව සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උසස් පාඨමාලාව වැනි යුද්ධ හමුදා නොවන පාඨමාලා රැසක්ද හදාරා ඇත.