පකිස්ථාන හමුදා පශු වෛද්‍ය සහ කෘෂිකර්මික බලකායේ අධ්‍යක්ෂ යුද හමුදාපතිතුමා හමුවේ

17th December 2015

අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් මෙරටට පැමිණ සිටින පකිස්ථාන යුදහමුදා පශු වෛද්‍ය සහ කෘෂිකාර්මික බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ජමිල් රෙහ්මාට් වෑන්ස් අඟහරුවාදා (15) පස්වරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය. කාෂිකාර්මික කටයුතු පිළිබඳ පළපුරුදු දැනුමක් ඇති නිලධාරියෙක් ලෙස මේජර් ජෙනරාල් වෑන්ස් විසින් මෙහි දී නැවුම් දියර කිරි කර්මාන්තය නංවාලීම සඳහා පකිස්තාන හමුදාව දියත් කරනු ලබන ව්‍යාපෘති පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ කිරිගව කර්මාන්තය නංවාලීමට ආනයනික කටයුතු සිදු කිරීම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. මෙම හමුවට පකාස්තානයේ තවත් නියෝජිත පිරිසක් ද සහභාගි වූහ. හමුදා ලේකම් කාර්යාලයේ පැවති මෙම අවස්ථාව සඳහා මූල්‍ය කළමණාකරණ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්.වී උඩවත්ත, හමුදා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ ශ්‍රී ලංකාවේ පකිස්ථානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජිල් ඉර්ෂාඩ් ඛාන් ද සහභාගි වූහ. මෙම හමුව සිහිගන්වමින් දෙපිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූහ. මෙහිදී මේජර් ජෙනරාල් වෑන්ස් පකිස්තානු හමුදාවේ සත්ව පාලනය, කිරි නිෂ්පාදනය, හමුදාවේ විවිධ කාර්යයන් සඳහා අශ්වයන් සහ සුනඛයන් පුහුණු කිරීම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය. මෙම අවස්ථාවේ දී යුද හමුදාපතිතුමා විසින් පකිස්ථානු පශු වෛද්‍ය පුහුණු නිළධාරීන්ගේ පුහුණු ආධාර ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙසත් ඒ සඳහා පකිස්තානයට නිලධාරීන් යැවීමට පියවර ගන්නා බවත් පැවසූ අතර, පකිස්තානු නියෝජිත ඊට සහයෝගය ලබාදීමට ද එකඟ විය.