යුද්ධ හමුදාධිපති කුසලාන අන්තර් රෙජිමේන්තු රග්බි තරඟාවලිය - 2024 ශූරතාවය සන්නාහ සන්නද්ධ බලකායට

31st July 2024

කණ්ඩායම් 14ක සහභාගිත්වයෙන් 2024 ජුනි මස 11 දින ආරම්භ වූ යුද්ධ හමුදාධිපති කුසලාන අන්තර් රෙජිමේන්තු රග්බි ශූරතාවලියේ අවසන් මහා තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී 2024 ජූලි මස 30 දින අවසන් විය.

අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායට එරෙහිව ගජබා රෙජිමේන්තුව තරඟ වැදුනු අතර, උණුසුම් තරගයකින් අනතුරුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා කණ්ඩායම ලකුණු 14-0 ක් ලෙස අන්තර් රෙජිමේන්තු රග්බි ශූරතාවය හිමිකරගන්නා ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය. එම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිතයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යුද්ධ හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ජයග්‍රාහකයින් වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපති තුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ ක්‍රීඩකයින් වෙත ශූරතායයට හිමි කුසලානය හා අනුශූරයන් සහ අනෙකුත් සහභාගීවූවන් සඳහා ත්‍යාග පිරිනමන ලදී.

තරගාවලියේ දක්‍ෂතම රග්බි ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.එන්.ජී. සාලින්ද තේරී පත් විය.

අවසන් මහා තරඟය නැරබීමට ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන්, නිලධාරීන් සහ ප්‍රේක්ෂකයින් සහභාගී වූහ