පකිස්තානු හමුදා භඨ කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක මෙරට සංචාරයක

6th January 2018

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයෙන්, පකිස්තානු යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර්, එම හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකුද සමඟින් දින හයක සංචාරයක් සඳහා සෙනසුරාදා (06) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණියහ.

මෙරටට පැමිණි පකිස්තානු යුද්ධ හමුදා නියෝජිත පිරිස, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් කර්නල් රංජන් ජයසේකර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පකිස්තානු හමුදා නියෝජිත පිරිස, මෙම සංචාරයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා ද්වීපාර්ශවීක යුද්ධ හමුදා සහයෝගිතාවයන් වර්ධන කිරීමේහිලා සාකච්ඡාවන් හී නිරතවනු ඇති අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන හා තාක්ෂණික කටයුතු පිළිබඳ වැදගත් කරුණු ද සාකච්ඡා කිරීමට නියමිතය.

සංචාරක නියෝජිතයින් පිරිස යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවීමට නියමිත අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම සංචාරයේ දී හමුවීමට නියමිතව ඇත.

|