මෙවර මඩකලපුවේ නත්තල් ආගමික උත්සව කටයුතු ඉතා ඉහළින්

24th December 2017

මඩකලපුවේ ක්‍රිස්තියානි ප්‍රජාව, ප්‍රදේශයේ ජනවාර්ගික කණ්ඩායම් අතර සංස්කෘතීක සහජීවනය සහ සංහිඳියාව ඇතිකරලීමේ අරමුණින්, 231 වන බලසේනා මුලස්ථානයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ‘කිතුනු නත්තල් සන්ධ්‍යාව - 2017’ තේමාව යටතේ විශේෂ නත්තල් වැඩසටහනක් සිකුරාදා (22) දින මඩකලපුව, ගාන්ධි උද්‍යානයේදී පවත්වනු ලැබීය.

මඩකලපුව රදගුරු අතිපූජ්‍ය ආචාර්ය ජෝෂෆ් පොන්නයියා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු. රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්. උද්‍යකුමාර මහතා, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චූල අබේනායක, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල, 232 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොෂාන් ජයමාන්න, මඩකලපුව මහ නගර සභා කොමසාරිස් එන්. මනිවන්නන් මහතා විශේෂ ආරාධිතයන් ලෙස මෙම වැඩසටහනට සහභාගී වු අතර, බැතිමතුන් විශාල පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ.

උත්සවයේ පිළිගැනීමේ දේශණය පූජ්‍ය සුලක්ෂන් පියතුමන් විසින් සිදුකල අතර, පිළිගැනීමේ නර්තනාංගයක් සමඟින් උත්සවයේ ආරම්භය සනිටුහන් විය.

මෙම උත්සවයේදී මඩකලපුව රදගුරු අතිපූජ්‍ය ආචාර්ය ජෝෂෆ් පොන්නයියා විසින් ආගමික වතාවත් සිදුකල අතර, සාමය පිළිබඳ නත්තල් දින පණිවිඩයද එතුමන් මතක් කර සිටියහ.

අම්පාර දේවස්ථානය, නාවත්කුඩි දේවස්ථානය, සූරි කල්මුනේ දේවස්ථානය, ශාන්ත සිසීලියා විද්‍යාලය, යුද්ධ හමුදා ගීතිකා කණ්ඩායම සමඟ එක්ව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සංකේතවත් කරමින් වර්ණවත් ලෙස මෙම ප්‍රසංගය පවත්වනු ලැබීය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල, බෙදාහදාගැනීමේ සහ රැකබලාගැනීමේ වැදගත්කම පෙන්වාදෙමින් නත්තල් සුභපැතුම් එක්කල අතර, මඩකලපුවේ පැවැති මෙම අලංකාරවත් නත්තල් උත්සවය මගින් එම ප්‍රදේශයේ සහ සමස්ත ශ්‍රී ලංකාවාසීන් ජේසුස් පියතුමන්ට පිදෙන ගෞරවය මනාව පිළිබිඹු කළහ.

|