යුද්ධ හමුදා උපදේශකයින් නව සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් පැවැත්වු නායකත්ව පුහුණුව අවසන්

13th December 2017

සමාජ සවිබල ගැන්විම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාරයක් ලෙස නව පත්වීම් ලද සමෘද්ධි සංවර්ධන නිලධාරින් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථාන කිහිපයක දී ඉතා විධිමත්ව පැවැත් වූ නායකත්ව පුහුණු පාඨමාලාව පසුගිය සඳුදා (11) දින අවසන් විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ‘නායකත්වය, ධනාත්මක චින්තනය සහ සදාචාරාත්මක සංවර්ධනය’ යන තේමාව යටතේ සමෘද්ධි සංවර්ධන නිලධාරිණින් 1521 ක් ඇතුළු නව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 ක් වෙනුවෙන් දිවයින පුරා යුද්ධ හමුදා පුහුණු ආයතන 17 ක, පසුගිය නොවැම්බර් මස 21 දින සිට මෙම පුහුණු වැඩමුළු පවත්වාගෙනයනු ලැබීය.

එමෙන්ම, යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන මෙම ‘නායකත්ව පුහුණු’ පාඨමාලාව නිරික්ෂණය කිරීම සඳහා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද පසුගිය අඟහරුවාදා (05) දින සන්ධ්‍යාවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදි.

සමාජ සවිබල ගැන්විම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ගරු අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමා සමඟින් ජ්‍යෙෂ්ඨ සමෘද්ධි නිලධාරින් කිහිපදෙනෙකු ද නායකත්ව පුහුණු වැඩමුළුව පසුගිය දින 14 ක කාලය තුලදි නිරික්ෂණය කරන ලදි.

සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයේදි සෑමවිටම යුද්ධ හමුදාවෙන් 1/3 ක කොටසක් ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයේහිලා දායකත්වය සපයමින් කටයුතු කල යුතුය යන යුද්ධ හමුදාධිපතිතුමාගේ දැක්මට අනුව යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් මෙම පුහුණුව සම්බන්ධිකරණය සහ පහසුකම් සැපයීම සිදුකරනු ලැබීය.

මෙම නායකත්ව පුහුණු වැඩමුළු අවසානයේ සහතිකපත් බෙදාදීමේ උත්සවයන් එම වැඩසටහන් ක්‍රියාත්මක කළ පුහුණු පාසල් 17 හි සේනාවිධායකවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

|