යුද්ධ හමුදා සෙබලාගේ හදිසි අභාවයෙන් සමාන්‍ය වැසියන් බලවත් ශෝකයට

11th December 2017

මාරක රිය අනතුරකින් සිකුරාදා (8) දින ජිවිතක්ෂයට පත් වූ ලාන්ස් කෝප්‍රල් ආර්.එම් කුමාර්, මුලතිව් සහ පුතුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජනතාව සමඟ මෙන්ම එම ප්‍රදේශයේ සාප්පු හිමියන් සමඟ මනා සුහඳත්වයකින් කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් එම ප්‍රදේශයේ ජනතාව සිය සංවේගය පුද කරන ලදි.

ජිවිතක්ෂයට පත් ලාන්ස් කෝප්‍රල් ආර්.එම් කුමාර්, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවය කරමින් සිටි අතර, ඔහු ඉතා සුහඳශිලී, විනිත යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරියෙකු ලෙස මුලතිව් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවගේ ද පැසසුමට ලක් වූ යුද්ධ හමුදා සාමාජිකයෙකි. එමෙන්ම චතුර ලෙස ද්‍රමිළ භාෂාව හැසිරවිමේ හැකියාව ඔහු සතු සුවිශේෂි ගුණාංගයකි.

ලාන්ස් කෝප්‍රල් ආර්.එම් කුමාර්, හදිසි මාරාන්තික අනතුරකින් ජිවිතක්ෂයට පත් වූ පුවත දැනගත් පුදුකුඩුඉරිප්පු සහ මුලතිව් ප්‍රදේශයේ පදිංචි ජනතාව එයින් මහත් සේ කම්පනයට පත් විය.

ඔහු එම ප්‍රදේශයේ රාජකාරියෙහි නිරතව සිටි කාලය තුළ සිවිල් වැසියන් සමඟ හොඳ සමාජ සබඳතාවයක් පවත්වාගෙන ගිය බව මෙම මිත්‍රශීලී සෙබලාගේ මරණය වෙනුවෙන් ඔවුන්ගේ ශෝකප්‍රකාශ, පණිවුඩ, බැනර් සහ සුදු කොඩි ප්‍රදර්ශනය කිරිම මඟින් පිළිඹිබු වේ.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවය කළ 37 හැවිරිදි ලාන්ස් කෝප්‍රල් ආර්.එම් කුමාර්, නාවලපිටිය, හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ලාන්ස් කෝප්‍රල් ආර්.එම් කුමාර් ගේ මෘත දේහය නාවලපිටිය නිවස වෙත රැගෙන ගිය අතර, දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පුතුකුඩිඉරිප්පු සිවිල් වැසියන් වෑන් රථ, බස්රථ සහ සිය වාහන භාවිතා කරමින් එම නිවස වෙත පැමිණ තිබේ.

එසේම, මුලතිව් ප්‍රදේශයේ බැනර් කිහිපයක “අපගේ සාතිශය සංවේගය - පුතුකුඩිඉරිප්පු ත්‍රිරෝද රථ සංගමය”, ආනන්ද ක්‍රීඩා සමාජයේ සංවේගය”, “ආනන්ද ප්‍රේම් - ශෝකය”, “කෝවින්දරාජ් සමන් ඇතුලු තරුණ කැළ” යනුවෙන් සඳහන්ව තිබුණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් භට පිරිස් කණ්ඩායමක් අවමංගල්‍ය නිවසට පිටත් කර ඇති අතර, පුතුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිට පැමිණෙන ජනතාව වෙත අවශ්‍ය පහසුකම් සලසාදෙන ලෙස ද උපදෙස් ලබාදෙන ලදි.

|