66 වන සේනාංකය සිවිල් ජනතාව සමඟ පොල් වගාකිරිම සඳහා පෙරමුණ ගනි
17th November 2017
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලානගේ මග පෙන්වීම මත පුනරින් ප්‍රදේශයේ පොල් වගා කිරිමේ පුළුල් ව්‍යාපෘතියක් එම සේනාංක මුලස්ථානය මගින් ක්‍රියාත්මක කරන ලදී.
අරසපුරකුලම් බලඇණි පුහුණු පාසල් පරිශ්‍රය තුළ පොල් පැළ සිටුවීම සඳහා ආදර්ශ පැළ තවානක් පිළියෙල කිරීමෙන් අනතුරුව එම භූමියේදී රු. 150,000 ක මුදලක් වැයකොට අඩි 22 ක ගැඹුරකින් හා විෂ්කම්භය අඩි 12 ක් පමණ වන වගා ලිඳක් ඉදිකරන ලදී. එම පැළ තවාන සදහා ගිරිඋල්ල සිල්වර් මිල් සමුහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් රුපියල් මිලියන 2 ක වටිනාකමින් යුත් විශාල පොල් පැළ ප්‍රමාණයක් 66 වන සේනාංක මුලස්ථානය වෙත මීට පෙර ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස 66 වන සේනාංක මුලස්ථානය වෙතින් ප්‍රදේශයේ ජනතාවගේ ගෙවතුවල වගාවක් ලෙස පවත්වාගෙන යාම සදහා කැමැත්තක් දක්වන අයවලුන් සදහා පොල් පැළ 2000 ක් පමණ බෙදා දෙන ලදී.
මීට අමතරව, පොල් පැළ ලබා දුන් සිවිල් වැසියන්ට නොමිලේ පොහොර, තාක්ෂණික උපදෙස්, මෙවලම්, වගා ළිඳ පිළියෙල කිරීම සහ වෙනත් අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම සඳහා සිල්වර් මිල් සමුහ ව්‍යාපාරය විසින් සහාය ලබා දෙන ලදී.
බලඇණි පුහුණු පාසලේ වගා ළිඳ ආරම්භ කිරීම සහ පූනරීන් වැසියන් අතර පොල් පැළ බෙදා දීමේ සමාරම්භක උත්සවය සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන සහ නිලධාරීන් කිහිප දෙනෙක්ද සහභාගී විය.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ ආශීර්වාදයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහක භවතුන්, සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සමාජිකයන් ගෙන් යුත් පිරිසක් සහභාගිවන ලදි.
|