INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටියට සම්මාන
6th November 2017
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 2017 නොවැම්බර් මස 02 සිට 05 දින දක්වා පැවති ‘INFOTEL ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය - 2017’ හි සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය සෙනසුරාදා (04) දින කොළඹ හිල්ටන් නිවාස සංකීර්ණයේ (Hilton Colombo Residencies) පැවති අතර, එහිදි ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් ඉදිකර තිබූ යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටියට හොඳම ප්‍රදර්ශන කුටියට හිමි සම්මානය හිමිවිය.
ස්වභාව ධර්මයට අනුකූල නව නිර්මාණාත්මක ආකෘතියකට අනුව ප්‍රදර්ශන කුටිය නිර්මාණය කර තිබීම සහ ප්‍රදර්ශනයේ අවසන් දින දක්වා පැමිණි අති මහත් නරඹන්නන්ගේ ආකර්ෂණයට යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කළ සුවිශේෂි නිර්මාණ වෙනුවෙන් යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටියට මෙම සම්මානය හිමිගන්වා තිබේ.
යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කරන ලද GPS Tracking System, ලයිෆයි තාක්ෂණික පද්ධතිය (LiFi System), ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නිවේදන පණිවිඩ හුවමාරු C4I වාහනය (Radio Relay Network Communication Vehicle C4I) සහ Inter Operable Radio Interface ආදී සන්නිවේදන පණිවිඩ හුවමාරු තාක්ෂණික නිර්මාණ ප්‍රදර්ශනයට පැමිණි නරඹන්නන්ගේ සිත් ගත් අංග විය.
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ක්‍රියාකාරින් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සංගමය (FITISL) සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය එකමුතුව මෙම ප්‍රදර්ශනය පවත්වන ලදි.
මෙම සම්මාන සහතික පත් ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා සහභාගි විය.
|