යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් යාපනය වෙරළ තිරය සංරක්ෂණය සඳහා සහාය

23rd October 2017

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය, යාපනය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ 306 බී2 සිංහ සමාජයේ (Lions Club 306 B2) සම්බන්ධිකරණයෙන්යාපනය වෙරළ තිරය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් සෙනසුරාදා (21) දින මයිලඩි ධීවර වරාය ප්‍රදේශයේ දී පවත්වනු ලැබීය.

යාපනය වෙරළ සංරක්ෂණ දෙපාර්තුමෙන්තුව විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 51 වන සේනාංක මුලස්ථානය සහ 515 වන බලසේනා මුලස්ථානය මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.

මයිලඩි ධීවර වරාය අසල දී පැළ 150 ක් සිටුවීමේ පළමු ව්‍යාපෘතිය සෙනසුරාදා (21) දින සන්ධ්‍යාවේ පැවති කෙටි සමාරම්භක උත්සවයකින් ආරම්භ වු අතර, මෙම අවස්ථාවට යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් මුරලිදරන් මහතා, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 50 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා, 306 බී2 සිංහ සමාජයේ ප්‍රධානි ශ්‍යමා ද සිල්වා මහත්මිය, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්, රජයේ නිලධාරන්, සිංහ සමාජයේ සාමාජිකයින්, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි විය.

ඉරිදා (22) දිනය පුරා පැවැති මෙම වැඩසටහනේ දී එක් එක් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සාමාන්‍ය වැසියන් විසින් රෝපණය කරන ලද පැළ අවුරුදු 3 ක් පුරාවට රැක බලා ගැනීමට ඔවුන්ටම භාරදිම සිදු කරන ලද අතර, යාපනය ප්‍රදේශයේ මෙසේ පැල 10,000 ක් රෝපණය කිරීමට බලාපොරෝත්තු වේ.

යාපනය අර්ධද්වීපයේ වෙරළ තිරය සංරක්ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන මෙම වැඩපිළිවල 306 බී2 සිංහ සමාජයේ ප්‍රධානි ශ්‍යමා ද සිල්වා මහත්මියගේ ඇගයීමට ලක් වු අතර, 51 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් අනුව 515 වන බලසේනාවේ බලසේනාධිපති විසින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලදී.

|