යුද්ධ හමුදාධිපතිතුමන් අත්තිඩියේ සහ රාගම රණවිරු සෙවණෙ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බලයි

10th October 2017

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පැවති සංවත්සර උත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රට වෙනුවෙන් යුධ වැදී පූර්ණ ආබාධිත තත්වයට පත්ව අත්තිඩිය, මිහිඳුසෙත් මැඳුරේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමට පැමිණියහ.

මිහිඳුසෙත් මැදුරේ සේනාවිධායක කර්නල් ප්‍රදිප් ගුණවර්ධන සහ යුධ බිමේ සිදු වු තුවාල හේතුවෙන් රෝද පුටුවක් භාවිතා කරන නේවාසික ආබාධිත රණවිරුවකු විසින් යුද්ධ හමුදාධිපතිතුමන් පිලිගන්නා ලදි.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමා ඇතුළු පිරිස විසින් මිහිඳුසෙත් මැඳුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟ කතාබහ කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බැලිය.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, මිහිඳුසෙත් මැඳුරේ සේනාවිධායක කර්නල් ප්‍රදිප් ගුණරත්න සහ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙත යුද්ධ හමුදා දිනය වෙනුවෙන් තෑගි පාර්සල් ප්‍රදානය කරන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳුසෙත් මැදුරෙන් නික්ම යාමට ප්‍රථම, නේවාසිකව ප්‍රතිකාර ලබන යුධ බිමේ තුවාල ලත් ආබාධිත රණවිරුවකු විසින් කරන ලද කලා නිර්මාණයක් යුද්ධ හමුදාධිපතිතුමන්ට තිලිණයක් ලෙස ප්‍රදානය කරන ලද අතර, යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහනක් තැබිමට ද අමතක නොකළහ.

මේ අතර, යුද්ධ හමුදා දිනයට සමගාමීව නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් 114 කට ආසන්න ප්‍රමාණයකගේ සුවදුක් විමසිම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් රාගම, රණවිරු සෙවණෙ වෙත පැමිණ සිටියහ.

රාගම රණවිරු සෙවණෙ සේනාවිධායක බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිලිගන්නා ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මෙසේ රාගම රණවිරු සෙවණෙ සංචාරය කළ අතර, නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟ කතාබහ කරමින් ඔවුන් වෙත තෑගි පාර්සල් ප්‍රදානය කරන ලදි.

|