යුද්ධ හමුදාව විසින් ගොඩනගන ලද කිලිනොච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විවෘත ‍කෙරේ

26th September 2017

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රාහකත්වය ඇතිව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඔවුන්ගේ ඉංජිනේරු දැනුම හා ප්‍රවිණත්වයත් සමඟ දියත් කරන ලද තවත් එක් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් වශයෙන් ඉදිකරන ලද කිලිනොච්චි නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකීර්ණය ඉරිදා (24) දින ජනතා අයිතියට පත් කරන ලදී.

සෞඛ්‍ය, පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍ය ගරු දොස්තර රාජිත සේනාරත්න මැතිතුමන්ගේ සුරතින් විවෘත වු මෙම නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකීර්ණය ඉදිකිරිම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර කේන්ද්‍රකරගත් ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහි ලෝක අරමුදල (Global Fund to Fight AIDS, Tuberculosis and Malaria (GFATM)) විසින් මුල්‍යාධාර සපයන ලදි. 

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් කිලිනොච්චි ආරක්ෂක ‍‍සේනා මුලස්ථානය යටතේ වන 57, 65 සහ 66 සේනාංකයන් හි භට පිරිස් සහ ඉංජිනේරු සේවා බලකායේ නිලධාරින් සහ භට පිරිස් හි නොමසුරු දායකත්වයෙන් මාස 8 ක් වැනි කෙටි කාලයක් තුල මෙම කාර්යාල සංකිර්ණයේ ඉදිකිරිම් කටයුතු නිමකරන ලදි.

නව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංකීර්ණය විවෘත කිරිමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍යවරයා සමඟ ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහි ලෝක අරමුදලේ නියෝජිතයින් සහ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන එක්විය.

57 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරින් රැසක් ද රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද මේ සදහා සහභාගි විය.

|