‘දියකාවා VIII – 2017’ පුහුණු යුධ අභ්‍යාසය නිල වශයෙන් ඇරඹේ

4th September 2017

අටවන වරටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන බහු ජාතික ක්ෂේත්‍ර යුධ පුහුණු අභ්‍යාසය “ දියකාව VIII – 2017” ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා භට පිරිස් සහ රටවල් 13 ක් නියෝජනය කරමින් සහභාගි වන විදේශීය හමුදා සාමාජිකයින් 69 ක සහභාගිත්වයෙන් ඉරිදා (03) පස්වරුවේ දී මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

පුහුණු යුධ අභ්‍යාසයේ ආරම්භක හමුව මින්නේරියේ ස්ථාපිත පුහුණු යුධ අභ්‍යාස ක්‍රියා මුලස්ථානයේ දී අද (03) දින පස්වරුවේ පැවැත්වු අතර, බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, ඉන්දුනිසීයාව, මැලේසියාව, චීනය, රුසියාව, ඇමරිකාව, බ්‍රසීලය, සූඩානය, ඉරාකය, ඊශ්‍රාලය, ඕමානය, තුර්කිය, ඉරානය හා කෙන්යාව යන රටවලීන් පැමිණි විදේශීය නියෝජිතයින් පුහුණු යුධ අභ්‍යාසය පැවැත්වෙන ආකාරය පිලිබඳ එහිදි උපදෙස් ලබා ගන්නා ලදී.

මෙම වර්ෂික ඒකාබද්ධ පුහුණු යුධ අභ්‍යාසයේ දී විදේශිය හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 69 ක් යුද්ධ හමුදා යන්ත්‍රික පාබල භට පිරිස්, යුද්ධ හමුදා කමාන්ඩෝ සහ විශේෂ බලංකා භට පිරිස් ඇතුළු යුද්ධ , නාවික, ගුවන් හමුදා භට පිරිස් 2675 ක් විදේශිය හමුදා පිරිස් සමඟ ඒකාබද්ධව පුහුණු යුධ අභ්‍යාසයන් හී නිරත වනු ඇත.

යුධ අභ්‍යාස අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් එහිදි අභ්‍යාසය පිලිබඳව සවිස්තර සහ කාලීන තොරතුරු සඳහා www.army.lk යුද්ධ හමුදා වෙබ් අඩවියේ හී පුහුණු අභ්‍යාස සංකේතය විවෘත කරමින් අභ්‍යාසය පිළිබඳ වැඩි විස්තර ඒ තුළින් ලබාගත හැකි බවද දන්වා සිටින ලදී.

මෙම පුහුණු යුධ අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ලෙස බ්‍රිගේඩියර් නිශාන්ත හේරත්, බ්‍රිගේඩියර් සුජිව සෙනරත් යාපා, බ්‍රිගේඩියර් උදීත් බණ්ඩාර, කර්නල් චන්ද්‍ර ජයවීර, කර්නල් සුජිව හෙට්ටිආරච්චි සහ කර්නල් චන්දන වික්‍රමසිංහ කටයුතු කරනු ලබයි.

|