අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ ජය ගජබා රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායමට
2nd February 2023
අන්තර් රෙජිමේන්තු ඕවර 50 ක්‍රිකට් තරගාවලිය (‘බී’ කාණ්ඩය) - 2023 , අවසන් මහා තරගය පනාගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පසුගිය බදාදා (1) දින අවසන් වූ අතර, එහි ජයග්‍රහණය හිමිකර ගැනීමට යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
සති කිහිපයකට පෙර ආරම්භ වූ මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් තරඟ වැදුණු අතර, අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ක්‍රිකට් කණ්ඩායම සහ ගජබා රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම අතර තරඟය පසුගිය බදාදා (1) දින පවත්වන ලදී. එහිදී ගජබා රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම ලකුණු 10 කින් ජය හිමිකර ගනු ලැබීය.
පළමුව පන්දුවට පහරදුන් ගජබා රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 48.2කදී සියළු දෙනා දැවී ලකුණු 156ක් රැස් කල අතර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම කඩුලු ලකුණු 146 දී දවා ගැනීමට ගජබා රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
යුද්ධ හමුදා ක්‍රිකට් කමිටු සභාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ උපදෙස් මත යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.