62 වන සේනාංකයේ මූලිකත්වයෙන් ක්‍රීඩා උපදේශකයින් සඳහා කඹ ඇදීමේ ක්‍රීඩාව හඳුන්වා දෙයි

24th January 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක රණසිංහ ගේ මූලිකත්වයෙන් කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් ක්‍රීඩා උපදේශකවරුන් 42 දෙනෙක්, තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල් ක්‍රීඩා උපදේශකවරුන් 33 දෙනෙක්, පොළොන්නරුව, හිඟුරක්ගොඩ සහ දිඹුලාගල අධ්‍යාපන කලාපවල පාසල් ක්‍රීඩා උපදේශකවරුන් 77 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ප්‍රථම වරට කඹ ඇදීමේ ක්‍රීඩාව පිළිබඳ ආරම්භක පුහුණුවක් පැවැත්විණි.

කඹ ඇදීමේ ක්‍රීඩාවට අදාළ න්‍යායික හා ප්‍රායෝගික සැසිවාරයන් 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කඳවුරේදී පසුගිය අඟහරුවාදා (17) දින පැවැත්විණි. එහිදී, ජාතික කඹ ඇදීමේ කණ්ඩායමේ උපදේශකයින් සහ යුද්ධ හමුදා උපදේශකයින් විසින් එම පාසල් උපදේශකයින් පුහුණු කරන ලදී.

පුහුණු සැසිවාරය සමාප්තියේ සහභාගී වූ සියලුම උපදේශකයන් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කරනු ලැබීය. පොළොන්නරුව රාජකීය විද්‍යාල පරිශ්‍රයේ සහ 14 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කඳවුරේ පැවති මෙම පුහුණු වැඩසටහන සඳහා කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, පොළොන්නරුව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.