‘දියකාවා යුධ අභ්‍යාසයේ අදියර VIII – 2017’ මින්නේරියෙන් ඇරඹීමට සියල්ල සුදානම්
30th August 2017
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අටවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුධ අභ්‍යාසය අදියර VIII – 2017’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා සෙබළුන් 2675 සමගින් හා විදේශීය හමුදා සමාජිකයින් 62 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නැගෙනහිර පළාත ආවරණය වන පරිදි සිදුකිරීමට සැලසුම් සකස්කර ඇත.
මෙම යුධ අභ්‍යාසය මින්නේරියේ ස්ථාපිත කර ඇති යුධ අභ්‍යාස මෙහෙයුම් මුලස්ථානයේ දී කෙටි උත්සවයකින් ඉරිදා (සැප්තැම්බර් 03) දින ආරම්භවීමට නියමිතය.
මෙම අභ්‍යාසය විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතා කරමින් කමාන්ඩෝ, විශේෂ බලකා සහ යාන්ත්‍රික පාබල සෙබළුන් ඇතුලත්ව සෙබළුන් 2108 ක් සහ නාවික හමුදා සෙබළුන් 370 ක්, ගුවන් හමුදා සෙබළුන් 197 ක් සමගින් බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, ඉන්දුනිසීයාව, මලයාසියාව, චීනය, රුසියාව, ඇමරිකාව, බ්‍රසීලය, සූඩානය, ඉරාකය, ඊශ්රාලය, ඕමානය, තුර්කිය, ඉරානය හා කෙන්යාව යන රටවල්හි විදේශීය හමුදා සමාජිකයින් සහ විදේශීය හමුදා නිරීක්ෂකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
යුධ අභ්‍යාස අධ්‍යක්ෂක ලෙස මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නියෝජ්ය අධ්‍යක්ෂක වරුන් ලෙස බ්‍රිගේඩියර් නිශාන්ත හේරත්, බ්‍රිගේඩියර් සුජිව සෙනරත් යාපා, බ්‍රිගේඩියර් උදිත බණ්ඩාර, කර්නල් චන්ද්රා ජයවීර, කර්නල් සුජීව හෙට්ටිආරච්චි සහ කර්නල් චන්දන වික්රමසිංහ ද කටයුතු කරනු ලබයි.
මෙම විශේෂ ක්‍රියාන්විත යුධ අභ්‍යාසය සැප්තැම්බර් 24 වන දින ත්‍රිකුණාමලයේ දී අවසන් වීමට නියමිත අතර, සමාප්තියට පෙර දින යුද, නාවික, ගුවන් හමුදා ඒකාබද්ධ සංදර්ශනයක් ද පැවැත්වේ.
|