ජය ශ්‍රී හඬ මධ්‍යයේ ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ධුරයෙන් සමුගනී

21st August 2017

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවෙන් බිහිවු විශීෂ්ඨ නිලධාරියකු වන හිටපු යුද්ධ හමුදාධිපති සහ එම රෙජිමේන්තු අධිපති වු වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා එම ධුරයෙන් සහ සක්‍රීය හමුදා සේවයෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් සඳුදා (21) දින පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැති නිල උත්සවයක දී සම්ප්‍රදායනුකුලව රෙජිමේන්තු නිලධාරි සහ සෙසුනිලයින්ට සමුදුනී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය සහ රට වෙනුවෙන් මහඟු මෙහෙවරක් සිදු කල ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් පුද කල යුද්ධ හමුදා මුරයේ ආචාරය පිළිගැනීමෙන් අනතුරුව, ඉංජිනේරු රෙජිමේන්තු අධිපති නියෝජනය කරමින් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉංජිනේරු රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභීයස දී රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර පුද කළ ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා අනතුරුව, රෙජිමේන්තු සරඹ පිටියේ පැවති යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තු උත්තමාචාර සම්මාන පිළිගෙන සම්ප්‍රදායානුකුලව පෙළපාලි අණදෙන්නා සමඟ සම්මාන ආචාර පෙළපාලිය පරික්ෂා කරන ලදි.

ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා තම සංචාරය සනිටුහන් කරනු වස් රෙජිමේන්තු විශේෂ අමුත්තන්ගේ පොතේහි සැමරුම් සටහනක් එක් කොට අනතුරුව, සියලු නිලයන් වෙනුවෙන් සුදානම් කොට තිබු තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.

දෙපස පෙල සැදුණු ඉංජිනේරු රෙජිමේන්තු නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ‘ජය ශ්‍රී’ හඬ මධ්‍යයේ සම්ප්‍රදායානුකුලව ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා නික්ම යාමත් සමඟ උත්සවය නිමාවට පත්විය.

මෙම උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි විය.

|