ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සහයෝගය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි පරිශ්‍රයේදී අභ්‍යන්තර ආරක්‍ෂක විධිවිධාන සබැඳිව වැඩමුළුවක්

26th April 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහයෝගය මත අභ්‍යන්තර ආරක්‍ෂක විධිවිධාන සබැඳිව යුද්ධ හමුදා නිලධාරින්ගේ දැනුම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් සඳහා හමුදා දායකත්වය’ මැයෙන් අප්‍රේල් මස 24 සහ 25 දෙදින තුළ යුද්ධ හමුදා නිලධාරින් 54 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දෙදින වැඩමුළුවක් පැවැත්වීය.

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් හා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත අභ්‍යන්තර ආරක්‍ෂක විධිවිධාන ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ විශේෂඥ දැනුම ලබාගැනීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී මෙම වැඩමුළුව පැවැත්වීය.

මෙම දෙදින වැඩමුළුවේ දේශනයන් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ කලාපීය ආරක්‍ෂක හා සන්නද්ධ හමුදා නියෝජිත ඇල්බට් සෝනවෙල්ඩ් මහතා (Mr Albert Schoneveld), කලාපීය පොලිස් වැඩසටහන් නියෝජිත වෙරේනා නිවුන්ඩර් මෙනවිය (Ms Verena Neundtr), සන්නද්ධ හමුදා වැඩසටහන් උපදේශක චන්න ජයවර්ධන මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ වවුනියා කාර්යාලයේ ප්‍රධානි ඇලේක්සැන්ඩර් බෘනෝව් මහතා (Mr Alexander Burov) විසින් පවත්වනු ලැබූහ.

මෙම වැඩමුළුව දේශන, විෂය අධ්‍යයන හා ක්‍රියාකාරකම් වලින් සමන්විත විය. වැඩමුළුව සමාප්තියේ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත පිරිස වෙත විශේෂ ඇගයීම් සංකේත ප්‍රදානය කළේය.