අන්තර් රෙජිමේන්තු රගර් ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට

29th July 2017

2017 - අන්තර් රෙජිමේන්තු රගර් තරඟාවලියේ අවසන් මහා තරඟය සිකුරාදා (28) දින කොළඹ, තුරඟ තරඟ පිටියේ දී පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වු අතර, යුද්ධ හමුදා රගර් කමිටුවේ සභාපති මෙන්ම යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් එතුමා පිළිගනු ලැබීය.

අන්තර් රෙජිමේන්තු රගර් තරඟාවලියේ අවසන් මහා තරඟය පැවත්වීමට ප්‍රථමයෙන්, පකිස්තාන යුද්ධ හමුදා රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් කණ්ඩායම අතර සුහද තරඟයක් ද පවත්වනු ලැබු අතර, එහිදි පකිස්තානු යුද්ධ හමුදා කණ්ඩායමට ජය හිමිවිය.

ශ්‍රී ලංකා - පකිස්තානු යුද්ධ හමුදා ක්‍රීඩා හුවමාරු වැඩසටහන යටතේ බ්‍රිගේඩියර් ගුලාම් ජිලානි ගේ නායකත්වයෙන් යුත් 17 දෙනෙකුගෙන් සමන්විත පකිස්තානු යුද්ධ හමුදා රගර් කණ්ඩායම සඳුදා (24) දින දිවයිනට පැමිණි අතර, ජූලි මස 25 වන දින සිට මෙම ද්විපාර්ශීය රගර් තරඟාවලිය ආරම්භ විය.

අනතුරුව, 2017 - අන්තර් රෙජිමේන්තු රගර් කුසලානය තරඟාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය අතර පැවැත්විය. මෙහිදි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට ලකුණු 26 - 03 ක් ලෙස ජයග්‍රහණය හිමි විය.

යුද්ධ හමුදාධිපතිතුමා විසින් ජයග්‍රාහක ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායමට සහ සුහද තරඟය ජයගත් පකිස්තානු යුද්ධ හමුදා කණ්ඩායමට ශුරතා කුසලාන පිරිනැමු අතර, ජයග්‍රාහකයින් වෙත සිය උණුසුම් සුභ පැතුම් ද එක් කළහ.

ශ්‍රී ලංකාවේ පකිස්තාන වැඩබලන මහා කොමසාරිස් ගරු ආචාර්ය සර්ෆාස් අහමඩ් කාන් සිප්රා මැතිතුමා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

|