යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

24th January 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානයේ - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 බලසේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පාසල් දරු දැරියන් වෙත රුපියල් 125,000/= ක වටිනාකමකින් යුත් පාසල් බෑග්, අධ්‍යාපනික උපකරණ සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (17) දින ක්‍රියාත්මක කරන ලදී.

571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ජී.සී.එම්.එච්. ගම්ලත් ගේ ඉල්ලීමකට අනුව අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මේජර් විරාජ් විමලසූරිය ගේ පවුලේ සාමාජිකයින් විසින් මෙම පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සඳහා සිය අනුග්‍රාහකත්වය දැක්වූහ.

571 වන බලසේනා මූලස්ථානයේ පැවති මෙම පරිත්‍යාග උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම බලසේනා මූලස්ථානයේ බලසේනාධිපතිතුමන් සහභාගී වූ අතර, සිවිල් සම්බන්ධීකරණ නිලධාරිතුමන් සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු ද මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.

යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි මෙම උත්සවයේදී 571 වන බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් කිහිපදෙනෙකු වෙත ද වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කරන ලදී.

මෙම සමාජ සත්කාරක වැඩසටහන වෙනුවෙන් එක් පවුලකින් දරුවන් තිදෙනෙකුට වැඩියෙන් සිටින පවුල්වලින් ප්‍රතිලාභීන් තෝරාගනු ලැබීය.