මත්තේගොඩ යුද්ධ හමුදා කඳවුරට සුර්ය බලශක්ති විදුලි උත්පාදන පද්ධතියක්

12th July 2017

මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා 5 වන කාරක ඉංජිනේරු බලකා කඳවුරු පරිශ්‍රයේ නිලධාරි නිවස්නයේ සුර්ය බලශක්ති විදුලි උත්පාදනය පද්ධතියක් අඟහරුවාදා (11) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් විවෘත කරනු ලැබීය.

යුද්ධ හමුදාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම විදුලි උත්පාදන පද්ධතිය තකිමා ටාච් ලංකා (පුද්ගලික) සමාගම විසින් පරිත්‍යාග කරනු ලැබු අතර, මෙමගින් කිලෝ වෝට් 12 ක විදුලියක් උත්පාදනය කළ හැක.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තන් ලෙස ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමඟින් තකිමා ටාච් ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති කොටාකි මසාටෝ මහතා, එම මහත්මිය සහ සෙරෙන්ඩිප් ග්‍රින් සමාගමේ සභාපති දේශමාන්‍ය සහිද හෙට්ටිආරච්චි මහතා සහභාගි වු අතර ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න විසින් එම ආරාධිතයන් පිළිගනු ලැබීය.

මෙම විදුලි උත්පාදන පද්ධතිය විවෘත කිරීමට පෙර ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කඳවුරේ ප්‍රධාන දොරටුව අසල නවතමයෙන් ඉදිකර තිබු ‘Home of the Sappers’ ඵලකය නීරාවරණය කිරීම ද සිදු විය.

මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න විසින් සිදු කළ අතර, එහිදි මෙම සුර්ය බලශක්ති ව්‍යපෘතීය පිළිබඳව තකිමා ටාච් ලංකා (පුද්ගලික) සමාගමේ විධායක නිලධාරි විසින් විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදී.

අනතුරුව, ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් එම සුර්ය බලශක්ති විදුලි උත්පාදන පද්ධතිය විවෘත කරනු ලැබීය. එමෙන්ම, ප්‍රධාන ආරාධිත අමුත්තා සහ කර්නල් සේනාවිධායක විසින් මෙම අවස්ථාව සිහිපත්විම සඳහා කොටාකි මසාටෝ මහතා, එම මහත්මියට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද සිදුවිය.

දිවයින පුරා සුර්ය විදුලි උත්පාදන පද්ධති මිලියනයක් ස්ථාපිත කිරීමේ ‘සුර්ය බල සංග්‍රාමය’ නම් වැඩසටහනට සමගාමීව හිටපු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ යෝජනාවකට අනුව මෙම සුර්ය බලශක්ති පද්ධතිය කඳවුර තුළ ස්ථාපනය කර ඇත.

|