ජනාධිපති නියමයෙන් කොටගල දමිළ මහා විද්‍යාලයට නව සනීපාරක්ෂක පහසුකම්

9th May 2017

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් නුවරඑළිය සංචාරයක් අතරතුරදි හදිසියේ තලවකැලේ ප්‍රදේශයේ නතරවු අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවකට අනුව, කොටගල දමිළ මහා විද්‍යාලයට දිර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති වැසිකිලි පද්ධතියක් සහ කොටගල ග්‍රාමීය රෝහලට ගිලන්රථයක් පරිත්‍යාග කිරීම සිදුවිය.

ජනාධිපතිතුමාගේ පැමිණිම සැළවු තලවකැලේ ප්‍රදේශයේ ජනතාව එම ස්ථානයට එක්රැස්වු අතර, එතුමා විසින් ඔවුන් සමඟ සුහද කතාබහක නිරතවිය. ජනතාව අතර සිටි කොටගල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් තම විද්‍යාලයට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පවතින වැසිකිලි පහසුකම් පිළිබඳව ඒතුමා දැනුවත් කළහ.

ඒ අනුව, ජනාධිපතිතුමන් ලබාදුන් පොරෙන්දුවට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා බලකාය සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් රුපියල් ලක්ෂ 5 ක වියදමින් මෙම නව වැසිකිලි පද්ධතිය ඉදිකරීමට කටයුතු කරනු ලැබිය.

කොටගල දමිළ මහා විද්‍යාල පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකල වැසිකිලි පද්ධතිය සෙනසුරාදා (06) දින සිසු අයිතියට පත්කිරිමේ අවස්ථාව සඳහා මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ නියෝජනය කරමින් එම මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබු අතර, විදුහල්පතිතුමන්, ගුරුවරුන්, සිසුන්, යුද්ධ හමුදා නිළධාරින් සහ සිවිල් ජනතාව ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

|