24 වන සේනාංකයේ භට පිරිස් වෙතින් මහාචාර්ය ස්වාමි විපුලානන්ද පිළිරුවට උපහාර

8th April 2017

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක භට පිරිස් අම්පාර අතිරේක ලේකම් සමඟ එක්ව බ්‍රහස්පතින්දා (06) දින අම්පාර ප්‍රදේශයේ යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය සහ සංහිඳියාව ඇති කිරිමේ අරමුණින් ප්‍රජා සේවා ව්‍යාපෘති කිහිපයක් සිදු කරන ලදි.

මින් එක් ව්‍යාපෘතියක් ලෙස 24 වන සේනාංක මුලස්ථානයේ වෘත්තීමය සෙබලුන් විසින් මහාචාර්ය ස්වාමි විපුලානන්ද අනුස්මරණ පිළිරුව ප්‍රතිසංස්කරණය කර විවෘත කරන ලදි.

එමෙන්ම, භට පිරිස් විසින් ප්‍රදේශය ජනතාව නිරන්තරයෙන් ගැවසෙන වඩයන්තලාව බස් නැවතුම්පල සහ සමන්තුරේ ප්‍රාදේශිය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ ඉදිරි භූමිය ප්‍රතිසංස්කරණය කිරිම සිදු කරන ලදි.

මීට අමතරව, නවතමයෙන් ඉදිකරන ලද ත්‍රිරෝද රථගාල හා 24 වන සේනාංක මුලස්ථාන නාම පුවරුව විවෘත කිරීම ද එහිදි සිදු කළහ.

මෙම විවෘත කිරිමේ උත්සව අවස්ථාවන් සඳහා අම්පාර අතිරේක ලේකම් කේ. විමලනාදන් මහතා, 24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.එම්. මුදලිගේ, සමන්තුරේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඒ ෂලිම් මහතා, සමන්තුරේ අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එච්.එම්. ජබිර් මහතා සහ විපුලානන්ද මහා විද්‍යාලයේ උප විදුහල්පති ඒ රමේෂ්වරන් මහතා ද සහභාගි වූහ.

තවද මල්වත්ත, විපුලානන්ද මහා විද්‍යාලයේ සිසුන් 75 ක්, දෙමාපියන්, සිවිල් වැසියන් මෙන්ම යුද හමුදා සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

1892 මාර්තු මස 27 වන දින කාර්තිවු ප්‍රදේශයේ දී උපත ලැබූ මහාචාර්ය විපුලානන්ද ස්වාමි නැගෙනහිර ප්‍රදේශයේ ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ අයෙකු වූ අතර, ශ්‍රී ලාංකීය දෙමළ හා හින්දු සමාජ ප්‍රතිසංස්කාරකවරයෙකු ලෙස සුවිසල් කාර්ය භාරයක් සමාජයට ඉටු කළේය. තවද ඔහු සාහිත්‍ය විචාරයෙකු, ග්‍රන්ථ කර්තෘවරයෙකු, කවියෙකු මෙන්ම කෘතහස්ථ ගුරුවරයෙකු වශයෙන් නැගෙනහිර පළාතට අමිල සේවයක් ඉටුකර ඉන්දු ශ්‍රී ලංකා රාම ක්‍රිෂ්ණා නිකායේ ආදි කතෘවරයෙකු ලෙසට ද හින්දු ආගමිකයින්ගේ සමාජ සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා මහත් මෙහෙවරක් ඉටු කර 1947 ජුනි මස 19 වන දින දැයෙන් සමුගන්නා ලදි.

|