11 පාබල සේනාංකය ‘වෙසක්’ උත්සවය උත්කර්ෂවත් අයුරින් සමරයි

12th May 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකය සහ එම සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් සමඟින් එක්ව පල්ලෙකැලේ 11 වන පාබල සේනාංක කඳවුරු පරිශ්‍රයේ දී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එස්ඩීයූ ගේ උපදෙස් මත පසුගිය සඳුදා (05) දින විචිත්‍රවත් වෙසක් කලාපයක් සංවිධානය කරන ලදී.

11 පාබල සේනාංකය, 10 ගජබා රෙජිමේන්තුව සහ 5 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් වෙසක් කලාපය වෙනුවෙන් අලංකාරවත් වූ වෙසක් පහන් කූඩු නිර්මාණය කරන ලද අතර, ඊට සමගාමීව වෙසක් කලාපය පැවති ප්‍රදේශය අවට විදුලි පහන් දල්වා අලංකාරවත් කරන ලදී.

වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන ජනතාව වෙත භටපිරිස් විසින් කොත්තමල්ලි සහ බිස්කට් පිරිනමන ලදී. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.