ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් වෙසක් උත්සවය සමරයි

9th May 2023

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා, ඒකකයන්ගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් සහ දන්සල් පවත්වමින් වෙසක් උත්සවය සමරනු ලැබූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ඉදිරිපිට දිවෙන A-9 මාර්ගය දෙපස භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (5) දින වෙසක් කූඩු ප්‍රදර්ශනයක් සහ ‘දන්සැලක්’ සංවිධානය කර තිබූ අතර, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය. වෙසක් කූඩු නැරඹීම සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

වෙසක් උත්සවය නිමිත්තෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් වව්නියාව නගරයේ වෙසක් කලාපයක් සංවිධානය කරන ලදී. වව්නියාව දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඉල්ලීමක් මත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් ලබාදුන් උපදෙස් අනුව වෙසක් කලාපය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩු ද ප්‍රදර්ශනයක් හා ‘බැති ගී’ ප්‍රසංගයක් ද පවත්වනු ලැබු අතර ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටියහ.