නැගෙනහිර ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරයි

17th April 2023

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් පවත්වනු ලබන වාර්ෂික සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය පසුගිය ඉරිදා (09) දින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.

අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ග්‍රීස් ගහේ නැඟීම, කොට්ට පොරය, කඹ ඇදීම, බාධක දිවීම, විකට ඇඳුම් තරඟය, අවුරුදු කුමරිය තේරීම ආදී සාම්ප්‍රදායික හා ගැමි ක්‍රීඩා රාශියක් පැවැත්වූ අතර, සාම්ප්‍රදායික අලුත් අවුරුදු චාරිත්‍ර වලින් සමන්විතව පැවති අලුත් අවුරුදු උත්සවයේ ආදර්ශ ‘ගැමි ගෙදර’ සහ අනෙකුත් අංගයන් අවුරුදු උළෙල වඩාත් අලංකාරවත් කළේය.

උත්සව අවස්ථාව අතරතුර ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් එම මුලස්ථානයේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් 35 දෙනෙකු වෙත සහල් කිලෝ ග්‍රෑම් 5 ක වියලි ආහාර සලාක පාර්සලයක් සමගින් තිළිණයන් ද ප්‍රධානය කරනු ලැබීය.

මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම අලුත් අවුරුදු උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ (ස්වේච්ඡා) නිලධාරී බ්‍රිගේඩියර් එච්.එම්.එල්.කේ අමුණුගම, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ සිවිල් කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ.